රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට අසුභ පණිවිඩයක් මෙන්න...

Colombo Sri Lanka Economic Crisis Sri Lanka Food Crisis
By Sithumi Apr 30, 2022 03:13 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියා විශාල වශයෙන් කඩාවැටීමක් සිදුවිය හැකි බව කොළඹ ව්‍යාපාරික සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා සඳහන් කළේ දැනටමත් බොහෝ පිරිසකට රැකියා අහිමිවී ඇති බවය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ, "දැන් අපි ගත්තොත් අද වනවිට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රටේ හිඟයක් ඇති වෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ලෙස රටේ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම වෙළෙඳපොළ ක්‍රියාවලිය දිනෙන් දින නතර වෙනවා.

ඒ විතරක් නෙමේ රැකියා වෙළෙඳපොළ විශාල කඩා වැටීමකට ලක් වෙනවා. පෞද්ගලික අංශයේ." "අපි දන්නවා ලංකාවට විශාල ලෙස විදේශ විනිමය ගේන ක්ෂේත්‍රයක් තමයි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක.ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ලක්ෂ තුනහාමාරක විතර රැකියා තියෙනවා. හැබැයි මාස 2ක් පමණ යන විට ඔවුන්ටත් විශාල අවදානමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

"ඒ විතරක් නෙමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තොත් ඉදිකිරීම් කර්මාන්තයේ දවස ගානේ මිල වැඩිවීම නිසා ලක්ෂ 10කට විතර රැකියා නැති වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයන් ගැන අවධානය යොමු කරන්න." "අද වෙනකොට රජයක් නෑ. රජයට වැඩ පිළිවෙළක් නෑ. එ්ක නිසා ජනතාව පාරට බැහැලා ඉන්නවා. ඒ වගේම විපක්ෂයට වැඩපිළිවෙලකුත් නෑ."

"මුදල් අච්චු ගහද්දි කිව්වානේ රටේ උද්ධමනයක් වෙන්නේ නෑ කියලා. මේක තමයි අපි දැන් මුහුණ දිලා තියේන උද්ධමන තත්ත්වය." මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය සියයට 18.7 සිට සියයට 29.8 දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙරට ආහාර උද්ධමනය සියයට 30.2 සිට සියයට 46.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් ගණනය කරන මතුපිට උද්ධමනය පසුගිය මාසයේ පැවති සියයට 18.7 සිට මෙම අප්‍රේල් මාසයේදී සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව නිවේදනය කළේය. ආහාර නොවන උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 13.4 සිට මේ මාසයේදී සියයට 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

2022 අප්‍රෙල් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 9.25ක් ලෙස සටහන් වෙයි. ආහාර නොවන මිල ගණන් සියයට 4.95කින් සහ ආහාර මිල ගණන් 4.31කින් ඉහළ යාම මීට හේතුව බව මහ බැංකුව සඳහන් කළේය. මේ අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ බේකරි 2,000ක් පමණ වසා දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now