ෂකීරා ලෝකෙම හොල්ලන වැඩක් කරයි - ඩොලර් මිලියන 1.25 ක මුදලක් වැය කරයි
අගෝස්තු 10 වනදා බටහිර කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූ කම්පනයෙන් හානියට පත් පාසල් යළි ගොඩනැගීම සඳහා සුප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ෂකීරා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.25 ක මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
පුද්ගලයින් සිය ගණනකට දිවි අහිමි කරමින් සිදු වූ මෙම ස්වාභාවික විපතෙන් චොකෝ පළාතේ පමණක් පාසල් 200 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදු විය.
මේ හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ ක්විබ්ඩෝ නගරයේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත වූ ෂකීරා, හානියට පත් පාසල් නැරඹීමෙන් අනතුරුව සිසුන්, ගුරුවරුන් සහ ප්‍රදේශයේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
මෙම මුදල ෂකීරා සහ Live Nation ආයතනය එක්ව ලබාදෙන ඇමෙරිකානු ඩොලර් 500,000 ක්, ජාත්‍යන්තර පාපන්දු සංගමයේ Global Citizen Education Fund වෙතින් හිමිවන ඩොලර් 500,000 ක් සහ ලතින් ඇමෙරිකානු හා කැරිබියානු සංවර්ධන බැංකුව මඟින් සපයන ඩොලර් 250,000 කින් සමන්විත වේ.
එකතු වන සමස්ත අරමුදල ෂකීරාගේ ‘Fundación Pies Descalzos’ පදනම හරහා යොමු කරමින් චොකෝ ප්‍රදේශයේ විනාශ වූ පාසල් යළි නැංවීමට සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට යෙදවීමට නියමිතය.
මෙම සංචාරයට එක්වූ දානපති හොවාර්ඩ් බෆට් ද තම පදනම හරහා චොකෝ හි තවත් පාසල් 10 ක් ප්‍රතිසංස්කරණය කිරීමට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
දරුවන් පාසල් නොයන සෑම දිනකම ඔවුන්ගේ අනාගතයෙන් දිනක් අහිමි වන බව පෙන්වා දුන් ෂකීරා, චොකෝ හි පිහිටි තාක්ෂණික විශ්වවිද්‍යාලය යළි ගොඩනැගීමට ද තමා පෞද්ගලිකව මැදිහත් වන බව වැඩිදුරටත් සඳහන් කළාය.