මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්
මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් රෝගය වැලඳී ඇති බව තහවුරු වී ඇති අතර, මෙම බරපතල හෙළිදරව්ව බදුල්ල ශික්ෂණ රෝහලේදී පැවති වැඩසටහනකදී බදුල්ල දිස්ත්‍රික් (111) සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස්. පළිපාන මහතා විසින් සිදු කරන ලදී.
ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඌව සායනික සංගමය විසින් සංවිධානය කරන ලද රෝහල් කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පළිපාන මහතා මෙම හෙළිදරව්ව සිදු කළේය. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, බොහෝ පාසල් සිසුන් පාසල් හෝ උපකාරක පන්තිවලට යනවා යැයි පවසා, ඒ වෙනුවට අනවශ්‍ය ස්ථානවලට යන බවයි.
"පාසල් යනවා කියලා හෝ උපකාරක පන්ති යනවා කියලා සමහර ළමයි ගිහින් කැලෑවල ඉන්නවා. එහෙම ඉද්දි මේ ළමයින්ට ලෙඩ රෝගත් හැදෙනවා. සොරබොර වැවට උදේට 15කට වඩා ළමයි ගිහින් තිබුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අපි වෙනම ආරක්ෂක රැකවල් ඒකකයක් යොදවලා තියෙනවාසැත්තම ලඟදි මහියංගණයේ අවුරුදු 15ක ළමයෙකුට ඒඩ්ස් රෝගය වැලඳුන බව අනාවරණය වුණා. අවුරුදු 16ට අඩු ළමයෙකු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තවත් පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරීම නීතිවිරෝධී බවත්," ඔහු පැවසීය.
රූපලාවන්‍යාගාරවල බලපෑම
සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මහියංගණය ප්‍රදේශයේ බොහෝ පාසල් ළමුන් රූපලාවන්‍යාගාරවලට යොමුවීම බරපතල ගැටලුවක් බවයි.
"මහියංගණයේ ළමයි අද එක ආකාරයි, හෙට වෙනත් ආකාරයක්. ගැහැණු ළමයි සුදුවෙලා, අමුතු පෙනුමකින් ඉන්නවා. ඉස්සර මෙහෙම ළමයි හිටියේ නැහැ. රූපලාවන්‍යාගාරවලට ගිහින් ඔවුන්ගේ ස්වාභාවික ලස්සන නැති කර ගන්නවා. වෛද්‍ය නිර්දේශයකින් තොරව රූපලාවන්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේ ගන්නවා. ඒවා භාවිතයෙන් ළමයින්ගේ සමේ පැහැපත්බව විනාශ වෙනවා. ළමයි පමණක් නොවෙයි, ඇතැම් මව්වරුත් මේ රූපලාවන්‍ය ක්‍රීම් භාවිතයෙන් සුදුවීමට උත්සාහ කරනවා. මේ නිසා සමහරුන්ගේ මුහුණු විරූපී වෙලා," ඔහු පැවසීය.
වෛද්‍යවරයකුගේ අනතුරු ඇඟවීම
බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ මහතා මෙම වැඩසටහනේදී දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළේ, වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතා කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ දෙනෙකු බරපතල අතුරු ආබාධවලට ලක්වන බවයි. මේ හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යාවේද වැඩිවීමක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කළේය.
මෙම හෙළිදරව්ව මහියංගණය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා ඔවුන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ බරපතල සමාජ සංවාදයක් ඇති කිරීමට හේතුවක් වනු ඇත.
