අධික ලෙස "සුවඳට" ලොල් වූ පාසල් සිසුවිය - ගමක්ම කම්පා කරමින් මරණයේ අබිරහස එළියට එයි..! පෙට්‍රල් බූලියකුත් ඇඳ ලඟ ..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 03, 2022 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇය දෙනියාය කොළවෙනි ගම, හතමුණ හේන ප්‍රදේශයේ පදිංචි හේනගම මානගේ චතුරිකා සඳමාලිය. 15 හැවිරිදි චතුරිකා කොළවෙනි ගම මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබුවාය.

චතුරිකා 'සුවඳට' ලොකු ඇල්මක් දැක්වූවාය. ඕනෑම සුවඳක් ආඝ්‍රාණය කිරීමට ඇය කිසි විටෙක මැළි නොවූවාය. කපුරු සුවඳටද දැඩි ලෙස ඇල්මක් දැක්වූ චතුරිකා කපුරු බෝලයක් නිතරම ළඟ තබා ගෙන සිටියේ එහි සුවඳ ආඝ්‍රාණය කිරීම සඳහාය. පාසලේ සිටින අවස්ථාවලදී පවා ඇය කපුරු බෝලයක් නාසය අසලට අල්ලමින් එහි සුවඳ ආඝ්‍රාණය කළේ ඇගේ මිතුරු මිතුරියන් බලා සිටියදීය.

චතුරිකා සුවඳ උරන පුරුද්දකට ඇබ්බැහි වී සිටින බව ඇගේ මවුපියෝ දැන සිටියත් ඇය ඒ ඇබ්බැහියෙන් මුදා ගැනීමට මවුපියන්ට හැකියාවක් ලැබුණේ නැත. ඉන්ධන හිඟයත් සමඟ වාහනයක් ඇති සෑම නිවෙසකම පාහේ පෙට්‍රල් හෝ ඩීසල් අඩුම ගණනේ බෝතලයක්වත් තබා ගැනීම සිරිතක් බවට පත් විය. ඒ හදිසියකට නිවෙසේ තිබෙන මෝටර් බයිසිකලයෙන් හෝ බේතක් හේතක් ගැනීම සඳහා රෝහලකට යාමට සිදුවන නිසාය.

චතුරිකාගේ පියාට මෝටර් බයිසිකලයක් තිබිණි. ඒ සඳහා ගෙන ආ පෙට්‍රල් ගැලුමක්ද නිවෙසේ තිබුණේ හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහාය. ඒ ඉකුත් 16 වැනිදාය. චතුරිකාගේ මව පියා සහ සහෝදරයාට එදින වැඩ කටයුතු අධික වුයේ ඔවුනට අයත් කුඹුරේ වී වැපිරූ දවස එදින වූ නිසාය. චතුරිකා පාසල් ගොස් එතෙක් නිවෙසට නොපැමිණි නිසා ගෙදර දොර වසා දැමූ මවුපියන් සහ සහෝදරයා කුඹුරට ගියේ වී වැපිරීම සඳහාය.

පාසල නිම වී චතුරිකා නිවෙසට පැමිණියාය. නි‌ෙවසේ කිසිවකු නැත. මව පියා සහ සහෝදරයා කුඹුරට ගොස් ඇති බව ඇය දැන සිටින්නට ඇත. දිවා ආහාරය ගත් චතුරිකා 'සුවඳ සොයන්නට' කල්පනා කරන්නට ඇත්දැයි දන්නේ ඇයව පමණි. නිවෙසේ අහු මුලු පරීක්ෂා කළ චතුරිකා පියාගේ මෝටර් බයිසිකලයට දමන්නට ගෙනා පෙට්‍රල් බූලිය දකින්නට ඇත.

ඇය පෙට්‍රල් සුවඳ විඳීම සඳහා බූලියද රැගෙන කාමරයට ගියාය. එහි පියන ඇර පෙට්‍රල් සුවඳ ආඝ්‍රාණය කළාය. මේ අතර චතුරිකාගේ මව නිවෙසට පැමිණියාය. ඒ දියණිය පාසල නිම වී ඒ වන විට නිවෙසට පැමිණ ඇති බව ඇය දැන සිටින්නට ඇති නිසාය. “පැළවී ටික පෝර උරයකට දමන්න“යැයි ඇය දියණියට කියන්නට සූදානමින් පසු වූවාය.

නිවෙස ඇතුළේ කාමරයේ දොරගුළු දමා ඇති බව මව දැන ගන්නේ මේ අතරය. දොර විවෘත කිරීමට ඇය ගත් උත්සාහය නිෂ්ඵල විය. ඇයට කතා කළත් ප්‍රතිචාරයක්ද නොමැත. දියණියගේ කාමරයේ දොර විවෘත කිරීමට නොහැකි බව චතුරිකාගේ මව සැමියාට පවසන්නේ ඒ අතරදීය. චතුරිකාගේ බාල සොයුරා නිවෙසට පැමිණෙන්නේ ඔය අතරේදීය.

අක්කා නිදිදැයි කියා බැලීම සඳහා ඔහු සොල්දරය උඩට නැඟ කාමරයේ සිවිලිමේ ලෑල්ලක් ඉවත් කළේය. එවිට ඔහු දකින්නේ අක්කා කාමරයේ ඇඳ මත වැටී සිටින ආකාරයයි. ඔහු මේ බව අම්මාට සහ තාත්තාට සැල කරන්නේ ක්ෂණිකවය. කුඹුරු වැඩට පැමිණ සිටි පිරිසක්ද චතුරිකාගේ නිවෙසට එන්නේ මේ ගැන තොරතුරු දැන ගැනීමෙන් පසුවය. ඉන් එක් අයකු සිවිලිමේ ලෑලි ගලවා ඉවත්කර කාමරයට ඇතුළු වී එහි දොරගුළු විවෘත කරන්නේ මවට සහ පියාට කාමරයට ඇතුළුවීම සඳහාය.

චතුරිකා සිහිසුන්ව සිටින අයුරුත් ඒ අසලම පෙට්‍රල් බූලිය තිබෙන අයුරුත් දුටු මවුපියෝ මහත් කම්පාවට පත්වූහ. ඔවුන් සිතන්නේ දියණිය පෙට්‍රල් පානය කිරීම නිසා සිහිසුන්ව සිටින බවකි. චතුරිකා දෙනියාය රෝහලට රැගෙන යාමට මවුපියන් කටයුතු කරන්නේ ඉන් පසුවය. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු පවසන්නේ ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටින බවකි. මේ ඇසු මවුපියන් හඬා වැලපෙන්නේ දියණියට වූ විපත දරා ගැනීමට නොහැකිවය.

චතුරිකාගේ පියා මේ පිළිබඳව දෙනියාය පොලිසියට පැමිණිල්ලක් කරන්නේ ඉන් අනතුරුවය. තම දියණිය පෙට්‍රල් පානය කිරීම නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බව පියා පොලිසියට කීවේය. පෙට්‍රල් සහිත බූලිය දියණිය සිටි ස්ථානය අසලම තිබුණු බවද පියා පොලිසියට කීවේය. මේ ගැන විමර්ශන ආරම්භ කළ දෙනියාය පොලිසියේ නිලධරයෝ මව සහ පියාගේ සාක්ෂි සටහන් කරගත්හ.

පොලිස් කණ්ඩායමක් චතුරිකාගේ නිවෙසට යන්නේ ඉන් පසුවය. චතුරිකාගේ සිරුර තිබුණු ස්ථානයත් ඒ අසලම ඇති පෙට්‍රල් බූලියත් පොලිසියේ පරීක්ෂාවට ලක් විය. පොලිස් නිලධාරීන් ඉන් අනතුරුව යන්නේ දෙනියාය රෝහලටය. වෛද්‍යවරු හමුවූ පොලිස් නිලධාරීන් චතුරිකාගේ සිරුර නිරීක්ෂණය කරද්දී දකින්නේ ඇගේ මුහුණේ පිලිස්සුම් තුවාල ඇති බවය.

හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කෙරිණි. ඒ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙතය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී. ඩී. සමරවීර තීරණය කළේ පෙට්‍රල් වාෂ්ප ආඝ්‍රාණය වීමෙන් පෙණහැල්ලට සිදුවූ හානි නිසා චතුරිකාගේ මරණය සිදු වී ඇති බවයි.

මාතර සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරිගේ උපදෙස් මත දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්නගේ මෙහෙයවීමෙන් කොස්තාපල් 72908 ඩී.බී.ඩී. චිරංග වැඩිදුර විමර්ශන සිදු කළේය. සිසුවියගේ පියා සහ මව මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන්හ.

(ඒ.පී. දයාචන්ද්‍ර - ඌරුබොක්ක විශේෂ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයෙන්...)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now