අසෝක රන්වලට එරෙහි නඩුව ලබන 19 වන දා
රිය අනතුරක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ලබන 19 වැනි සිකුරාදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.
අදාළ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ නියෝගයක් මත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකි පෙරේරා මහත්මිය කොළඹ ජාතික රෝහලට පැමිණ, එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතා පරීක්ෂා කළාය. එහිදී සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
මෙම රිය අනතුර ඉකුත් 11 වැනිදා රාත්‍රී 7.45ට පමණ හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේදී සිදුව ඇති අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අනතුරට සම්බන්ධ ජීප් රථය, මෝටර් රථය සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ හෙයියන්තුඩුව, ඔබවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ විසිපස් හැවිරිදි තරුණ මවක්, මාස හතක් වයසැති ඇගේ සිඟිති පුත්‍රයා සහ පනස් දෙහැවිරිදි මිත්තණිය කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.