කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම සමීපතමයා මැලේසියාවේදී කොටු - විශේෂ ආරක්ෂාවක් යටතේ අද ඔහු දිවයිනට
මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා අද (10) පස්වරුවේ මැලේසියාවේ සිට දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් භාරගෙන මෙරටට කැඳවාගෙන එනු ලබයි.
මෙලෙස රැගෙන එනු ලබන සැකකරුවන් තිදෙනා අතුරින් ප්‍රධානියා වන “රත්මලානේ සයිමා”, විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ ප්‍රධානතම සමීපතමයා සහ ගෝලයා ලෙස හඳුනාගෙන තිබේ.
ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මැලේසියාවේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් සහ එරට පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, රත්මලානේ සයිමා නමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය පරිපාලන කටයුතු මෙන්ම ඔහුගේ සමාජ මාධ්‍ය මෙහෙයුම් ද සෘජුවම පාලනය කර ඇත. කංජිපානි ඉම්රාන්ගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ ද මොහු විසිනි.
ඊට අමතරව, පසුගිය වසරේදී "කෙහෙල්බද්දර පද්මේ" නමැත්තාට මැලේසියාවේ සැඟව සිටීම සඳහා කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත සියලු පහසුකම් සලසා දී ඇත්තේ ද සයිමා විසිනි. කලක් ප්‍රංශයේ සැඟව සිටින “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති සයිමා, පසුව කංජිපානි ඉම්රාන් සමඟ එක්ව තිබේ.
කුඩු අංජු විසින් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කරන බවට කංජිපානි ඉම්රාන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව සයිමා, කංජිපානි සමඟ වඩාත් සමීප වී කටයුතු කර ඇති බව ද විමර්ශනවලදී හෙළි විය.
මීට වසර 10 කට පමණ පෙර මැලේසියාවට පලාගොස් ඇති රත්මලානේ සයිමා ඇතුළු මෙම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර ඉදිරි නීතිමය කටයුතු කිරීමට නියමිතය.