කාලයක් තිස්සේ කරගෙ ගිය කරදියාන කසළ අංගණයේ ලොකුම ජාවරම එළියට
කැස්බෑව නගර සභාවේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරු විසින් පිළියන්දල කරදියාන කසළ අංගණයේ කලක සිට සිදු වූ මහා පරිමාණ වංචාව නීතියේ රැහැනට ගෙන ඒමට පෙරේදා (10 වැනිදා) සමත් විය.
මෙම වංචාවට සම්බන්ධ බව කියන පෞද්ගලික ආයතනයක ටිපර් රථ රියැදුරකු පොලිසියට භාර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර කහදවආරච්චි මහතා කසළ අංගණයේ වැඩ පරීක්ෂකවරයා සහ ආර්ථික සංවර්ධන අධිකාරියට අයත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය ද මේ වන විට අත්හිටුවා ඇති බව සඳහන් වේ.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයට අයත් කරදියාන කසළ අංගණයට පළාත් පාලන ආයතන හතක කසළ බැහැර කෙරෙන අතර, මෙම භූමිය කැස්බෑව නගර සභාවට අයත් වේ.
කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළු පිටස්තර පුද්ගලයන් සහ කරදියාන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර සේවකයින් සම්බන්ධ කරගෙන කාලයක් තිස්සේ මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන්, නගර සභාවට මෙන්ම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට හිමි විය යුතු මුදල් සහ කසළ බැහැර කිරීමේ ක්‍රමවත්භාවය අහිමිවී ඇති බව පැවසීය.
අත්අඩංගුවට ගත් රියැදුරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.