රට පුරා බස් රථ ධාවනයට රතු එළියක්..අදයි හෙටයි සිදුවන දේ..

Sri Lanka Sri Lanka Bus Strike
By Aruna Aug 26, 2022 03:03 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ලබා දෙන ඉන්ධන නතර කීරිම නිසා අද (අගෝ. 26) හා හෙට (අගෝ. 27) බස් රථ ධාවනය සියයට පනහක් පමණ වනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පවසයි.

ඉන්ධන අර්බුදයෙන් පසු සති කිහිපයක් කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දුන් නමුත් පෙරේදා (අගෝ. 24) සිට නැවත වරක් ඉන්ධන ලබා නොදීමට ලංගම කටයුතු කිරීම නිසා දිවයින පුරා බස් රථ බොහොමයක් ධාවනයෙන් ඉවත් වී ඇති බව ඔහු සඳහන් කළේ ය.

ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වු පසුබිමක ඉන්ධන තොග ගබඩා පර්යන්තයේ ඇති වී තිබෙන අභ්‍යන්තර විරෝධතා හමුවේ මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ලංගම බස්රථවලට ලබා දෙන ඉන්ධන ඩිපෝවලට ප්‍රමාණවත්ව නොලැබෙන බව ත් ඒ නිසා පෞද්ගලික බස්රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දිය නොහැකි බව ඩිපෝ සේවකයන් පවසන බව ත් හෙතෙම කීය.

ඉන්ධන ලබා දීම QR කේතය හරහා සිදු කරනු ලැබුවත් එය ප්‍රමාණවත් නොවෙන බවත් දෛනිකව අවශ්‍ය ඉන්ධන වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අවස්ථාවක ලබා දෙන ඉන්ධන ප්‍රමාණයවත් ලබා ගත නොහැකි බව ත් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසීය.

පොදු ප්‍රවාහනය රටකට අවශ්‍ය ප්‍රධාන සාධකයක් බවත් එය නිසි ක්‍රමවේදයක් යටතේ නියාමනය හා පාලනය සිදු කළ යුතු නමුත් රජයේ නිලධාරීන්ගේ අනුවණ ක්‍රියා නිසා රටේ පොදු ප්‍රවාහනය ඉදිරියේ දී කඩා වැටෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now