බස් ගාස්තු 12% කින් අඩු කිරීම ගැන ආරංචියක්..මේ ගැන ඔබේ අදහස කුමක්ද?

Sri Lanka
By Aruna Oct 28, 2022 01:38 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් සමයේ සියයට විස්සකින් වැඩි කළ බස් ගාස්තුව පසුව සියයට දහය දක්වා අඩු කෙරිණ.

මේ වන විට එම බස් ගාස්තුවෙන් ඉතිරි සියයට දහය ද අඩු කිරීමට හැකියාව ඇතත් ඊට අනුමැතිය දීම සෞඛ්‍ය අමාත්‍යාංශය ජූලි මාසයේ සිට ප්‍රමාද කරමින් සිටියි.

ඒ සඳහා අනුමැතිය ඉල්ලා ප්‍රවාහන අමාත්‍යාංශය එම මාසයේ සිට මේ දක්වා අවස්ථා හතරක දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිත දැනුම් දීම් කර ඇතත් මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නැතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ප්‍රධාන පුවත් පතකට පසා තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරිමේ නීතිය හඳුන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනි.

මේ වනවිට එම නීතිය ක්‍රියාත්මක කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් කිසිදු බස් රථයක් එලෙස ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය නොකරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

සාමාන්‍ය බස් ගාස්තු සඳහා පමණක් සියයට විස්සකින් වැඩි කළ මෙම ගාස්තුවෙන් සියයට දහයක් මීට මාස දෙකකට පෙර අඩුකිරීමට පියවර ගත්තේ අඩුවූ ඩීසල් මිල මුල් කරගෙනය.

පසුගියදා ඩීසල් මිල රුපියල් 15 කින් අඩු වුවත් ගාස්තු අඩු නොකෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණහොත් මෙම ඩීසල් මිල අඩු වීම ද පාදක කර ගනිමින් බස් ගාස්තුව සියයට දොළහකින් අඩු කළ හැකි බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

අවස්ථා හතරක දී ප්‍රවාහන අමාත්‍යාංශය කර ඇති ඉල්ලීම මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නැති බව එහි ආරංචි මාර්ග කීවේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ ඊයේ පැවසීය.

මෙම නීතිය ඉවත් කළ යුතු බවත් එමගින් මගීන්ට සහනයක් සැලසිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ද සඳහන් කළේය.

මේ සඳහා අනුමැතිය දුනහොත් රුපියල් තිස් හතරක අවම බස් ගාස්තුව රුපියල් 29ක් දක්වා අඩු කළ හැකි බව ප්‍රවාහන බලධාරීහු අවධාරණය කරති.

මෙලෙස රටේ ජනතාව දැඩි අසීරු තත්ත්වයකින් වැඩ කරද්දි ජනතාවට සහනයක් ලබා දෙන්නට හැකියාව තිබියදීත් ,එය ප්‍රමාද කරමින් ජනතාවගේ බදු මුදලින් යැපෙමින්, තීන්දු තීරණ ගන්නට මැලිවන නිලධාරීන් ගැන ඇත්තේ ඇත්තටම කණගාටුවකි.

මෙලෙස තීන්දු තීරණ ගන්නා ඔබ පෞද්ගලික වාහන වල සුරසැප විදිමින් ගමන් කළද මහමඟ දුක් විදිමින් බස්රථ වල ගමන්කරන අහිංසක මිනිසුන් ගැන සිතන්නට දැන්වත් නිලධාරීන්ට සිත්පහල වේවා.!!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha