බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්..!
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බය ගෙනආ බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති සැකකරු අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදී තිබුණි.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි අදාළ සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙම පැමිණිල්ල අද පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව දැනුම්දී ඇති හෙයින් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව ප්‍රකාශ කර තිබුණි.
මෙහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අමතමින් විමසා සිටියේ සැකකරු තමා ඉදිරියේ මෙම ප්‍රකාශය ලබාදීමට සූදානම් වන්නේ ස්වේච්ඡාවෙන් ද එසේත් නැත්නම් යම් අයෙකුගේ බලපෑමක් අනුවද යන්නය.
මෙහිදී අදාළ සැකකරු සඳහන් කර සිටියේ තමන් ස්වේච්ඡාවෙන්ම මෙම ප්‍රකාශය ලබාදීමට ඉදිරිපත් වන බවය. ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී එම සැකකරු විසින් පැය එකහමාරකට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබාදුන් බව වාර්තා වෙයි.
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ කාල බෝම්බයක් ආකාරයට සකසන ලද අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බෝම්බය තැබීම සඳහා සැලසුම් කළේ තමා බව මේ වනවිට පිළිගෙන තිබේ.
සැකකරු පවසා ඇත්තේ තමා බෞද්ධ කාන්තාවක් සමග විවාහ වීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා තමන්ට උදෑසන කාලයේදී විවාහ මංගල උත්සවයට අදාළ පූජාව ලබානොදීම නිසා තමන් දැඩි සිත් තැවුලෙන් සිටි බවය.
තම බිරිඳ දැඩිව රෝගීව සිටියදී නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් මගින් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන ප්‍රතිකාර කළ බැවින් රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම වෙනුවෙන් බොරැල්ලේ දේවස්ථානයට බෝම්බය තැබූ පුද්ගලයා ලවාම එම රෝහලටද බෝම්බයක් ගෙනගොස් තැබූ බවද සැකකරු පවසා තිබුණි.
තම අතෙහි ඇඟිල්ලක පැළඳ සිටින මුදුව සිය බිරිඳට වූ අසීමිත ආදරය හේතුවෙන් බිරිඳගේ මිනීඅළු දමා සකස් කර ඇති බවද ඔහු විසින් පොලීසිය හමුවේ පවසා තිබුණි. බොරැල්ල දේවස්ථානයට සහ නාරාහෙන්පිට පෞද්ලික රෝහලට තැබීමට සැකකාර වෛද්‍යවරයාට බෝම්බ දෙක ලබාදුන් පුද්ගලයා ඊයේ පස්වරුවේ හම්බන්තොට, රන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
