විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස බිලිගත් යතුරු පැදි කරුගේ ජීවිතය

By Sithumi Oct 25, 2022 05:58 PM GMT
Sithumi

Sithumi

Report

යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගිය පුවතක් මිද්දෙණියෙන් වාර්තා විය. මිද්දෙණිය, දඹේතලාව මාර්ගයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි එම පුද්ගලයා මාර්ගය හරහා වැටී තිබූ විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් එලෙස මියගොස් ඇත.

ඊයේ (24) අලුයම 5.30 ට පමණ මෙම අනතුරට ඔහු මුහුණපා ඇති අතර පෙර දින (23) රාත්‍රියේ තල් අත්තක් කඩා වැටීමෙන් එම විදුලි රැහැන මාර්ගයට ඇද වැටී ඇති බව පැවසෙයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ දිනේෂ් සාරංග නම් 31 හැවිරිදි දෙදරු පියෙකි. රැකියාව සඳහා සිය බිරිඳව ඇරලවීමට යතුරුපැදියෙන් යමින් සිටින අතරතුරදී ඔහු මෙම අනතුරට ලක්වී තිබේ.

එහිදී බිරිඳට ද විදුලිසැර වැදී ඇති අතර ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. අප වාර්තාකරු සඳහන් කළේ මෙම විදුලි රැහැන ඉවත්කර තිබෙන්නේ ද ප්‍රදේශවාසීන් විසින් බවය. මීට පෙරද විදුලි රැහැන් මතට ගස්වල අතු කඩා වැටුණු අවස්ථාවලදී විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය දැනුවත් කළ ද ඔවුන්ගෙන් නිසි විසඳුමක් නොලැබුණු බවට ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළේය.