බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක් අත්හිටුවයි..හේතුව මෙන්න.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝග නවසියයක් පමණ නිකුත් කර ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිල පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රනවක මහතා,
“ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට අපි සභාගත කරනවා.
විශේෂයෙන්ම කරුණු කිහිපයක් මම අවධාරණය කරන්න කැමතියි.
අපි මේ පලවෙනි මාස 6 ඇතුළත රාජ්‍ය ආදායම් පිළිබඳ ඉලක්ක සලකා බැලූ කල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවත් රුපියල් බිලියන 1680.2 ක් එනම් අපේක්ෂිත ආදායමෙන් 44% මේ පළවෙනි හය මාසය තුළ උපයලා තියෙනවා.
ඒකෙ යම්කිසි සැලකිය යුතු ප්‍රගතියක් තිබෙන බව පෙනී යනවා ඒ කාරණා නිරීක්ෂණය කිරීමේදී. පසුගිය වසර තුළ රුපියල් බිලියන 978 ක් බදු අය නොකර බදු සහන ලබාදීම නිසා අහිමි වුණා විතරක් නෙවෙයි තවත් රුපියල් ට්‍රිලියනයකට වැඩි මුදලක් බදු අයකර ගැනීමට නොහැකිව තිබුණා.
ඒ අනුව අප විසින් කරන ලද නියෝගයකට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් අත්හිටවීමේ නියෝග නවසීයක් පමණ නිකුත් කර තිබෙනවයි කියලා වාර්තා කරලා තිබෙනවා.
මේක ඉතාමත්ම අවශ්‍යතාවයක්, මේ හිඟ බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය. ඒ වගේම වසර දහඅටට වැඩි වැඩිහිටියන් මිලියන දාහතක් ඉන්නවා. ඒ දාහත සඳහා Tin නොම්මර නිකුත් කිරීම සඳහා විධිමත් ක්‍රියාවලිය තිබුන්නෑ.
නමුත් මේ වන විට එයින් මිලියන පහක් පමණ Tin නොම්මර නිකුත් කර තිබෙන බව වාර්තා කරලා තියෙනවා. තවත් මිලියන දොළහක් Tin නොම්මර නිකුත් කිරීමට තිබෙනවා.
ඒකත් අපි මේ වසර අවසන් වෙන්න පෙර සිදු කරන ලෙස නියෝග කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒකෙ යම් සාර්ථකත්වයක් තියෙනවා.
එහි තියෙන එකම අඩුපාඩුව තමයි මේ Tin නොම්මර ඩ්‍රයිවින් ලයිසන් එක, ඒ වගේම අපේ අනෙකුත් රජයේ අවශ් යතා සඳහා පාවිච්චි කරන අපේ අනන් යතා අංක වලට පොදු සාධකයක් නෑ ගරු කතානායකතුමනි.
ඒ නිසා ඒ පොදු සාධකය හැටියට අපගේ හැඳුනුම්පත් අංකය පාවිච්චි නොකළොත් අපට අනාගතයේ මේ කාර්යයන් කිරීම සඳහා රාජ්‍ය ඩිජිටල්කරණයට ලොකු බාධාවක්, මෙවැනි ආයතන වෙන වෙනම අංක ලබාදීම නිසා.
මේ ටින් අංකයත් එක්කම අපගේ හැඳුනුම්පත් අංකය ඒකාබද්ධ කරන හැටියට අපි දැනුම් දීලා තියෙනවා. අපි රේගු බදුවල කරුණු තුනක් වැරදි ඉන්වොයිස්කරණ නිසා ඇතිවෙන ප්‍රශ්නය ගැන කරුණු තුනක් හඳුනාගෙන තියෙනවා.
ඒක ඌණ ඉන්වයිස්කරණය (Under Invoicing) අධි ඉන්වයිස් කරණය (Over Invoicing), අදෘශ්‍ය ඉන්වොයිස්කරණය (Ghost Invoicing) ඒ කියන්නේ හොයාගන්න කෙනෙක් නෑ. බදු ආදායම් හොයන්න කෙනෙක් නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
ඔබතුමාගේ අවධානය සඳහා මම කියන්න ඕනේ රටට ගෙන්වන භාණ්ඩ වලින් විශේෂයෙන්ම ආහාර භාණ්ඩ වලින් 25-25 නැමැති තාවකාලික පදනම යටතේ තමයි 65% ගෙන්නන්නේ.
ඒ අයගෙන් බදු අය කිරීමක් හෝ වෙනත් කිසිම ආකාරයක ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත්, රේගු දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා.
මේ 25-25 ක්ෂේත්‍ර යටතේ ඒ කාලයේ ආහාර හිඟයක් තිබුණා, ඩොලර් හිඟයක් තිබුණා. ඒ අවස්ථාවේ ඒක යුක්තිසහගත කරගන්න පුළුවන්. නමුත් දැන් ඒක මග ඇරලා කටයුතු කරන හැටියට ඒ සඳහා අර හත්දාහ කාණ්ඩයෙන් පමණක් ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දෙන ලෙස කියලා තියෙනවා.
මොකද මේ නිසා රටට අහිමි වෙන ප්‍රමාණය ඩොලර් බිලියන හතරක් වාර්ෂිකව. ඒක අපගේ ගෙවුම් ශේෂ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්. මේ ප්‍රශ්නය අපි හරියට අල්ල ගත්තොත් අපිට මේ රටේ ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍යතාව තිබෙනවා කියන එක අපි දැනගෙන තියෙනවා.
ඒ වගේම මේ රටේ ප්‍රශ්නයක් මතු වුණා මේ රත්තරන් ගෙන ඒම ගැන. රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කටයුතු කරලා ව්‍යාපාරික දහ දෙනෙක්ගෙන් හය දෙනෙක් පමණ රත් රං ආනයනය පිළිබඳ කරපු පරීක්ෂාවෙන් ලබාගෙන තියෙන දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.2 ක්.
තව බදු මුදල් අය කරගන්න තියෙනවා. ඒ වගේම දඩ මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය විධිමත්කරණය කිරීම නිසා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් බිලියන 10 ක පමණ මේ වැඩි මුදලක් එකතු කර ගැනීමට සමත් වෙලා තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ අය නොකර ගන්නා ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.9 ක්.
ඒකෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 3.447 ක්. ඒ වගේම වයඹ ඩිස්ටිලර්ස් රෝයල් සිලෝන් සමාගම, රු. මිලියන 560ක්. වයඹ ස්ප්‍රීතු සමාගම රු. මිලියන 281 ක්. ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් රු. බිලියන 1.148 ක්. ක්, මැකලම් බෲවරීස් රුපියල් මිලියන 619 ක්, කළුතර සමූපකාර ඩිස්ටීලර්ස් රුපියල් මිලියන 17 ක් හැටියට තියෙනවා.
ඉතින් මේ නිසා අපි මේ අයට නිරන්තරයෙන්ම දැනුම් දුන්නා මේ අයගේ බලපත්‍ර නතර කරලා මේ බදු මුදල් අයකර ගැනීමට ක්‍රියා කරන්නයි කියලා.
නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව කියනවා මුදල් අමාත් යාංශයෙන් නිශ්චිත නියෝගයක් මේ සඳහා පැනවිලා නැති නිසා ඒ කටයුත්ත කරන්න බැරි බව. නමුත් අපි දන්නවා ගිය වසරේ නොවැම්බර් මාසේ මේ කටයුත්ත තාවකාලිකව කලහම බදු මුදල් එකතු වීම විධිමත් වුණා. විධිමත් වීම නැවත නතර වුණේ මේ බදු මුදල් ආයතන කිහිපයක් පැහැර හරිනවා.
සුරාබදු නිෂ්පාදකයින්. ඒ පැහැර හැරීම නිසා අනික් අයත් බදු ගෙවන්නට අපොහොසත් වීම කියන කාරණය. ඒ වගේම අපි අතිශය වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි මේ රාජ්‍ය සඳහා පොදු ඩිජිටල් පහසුකමක් සැපයීම.
ඒ කියන්නේ Digital Public Infrastructure (DPI) එකක් ගැන යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අපේ අවට කලාපයේ රටවල් හැම එකම මේක කරලා තියෙනවා.
විශේෂයෙන්ම මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා අද හුඟක් දෙනෙක් භෞතික යටිතල පහසුකම ගැන පාරවල්, වරායවල්, ගුවන් තොටුපලවල්, නැව්, නාවුකාංග, මේවා ඉදිකිරීම ගැන කතා කරනවා.
නමුත් ඉතා අඩු මුදලකට මේ පොදු ඩිජිටල් පහසුකම ලබා දෙන්න පුළුවන් නම්, අපේ රටේ DPI ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්, අපට රාජ්‍ය අංශය කාර්යක්ශම කරගන්නත් පුළුවන්, මහජනයා බලාත්මක කරන්නත් පුළුවන් ඒ වගේම මහජනයාට තමන් ගෙවන මුදල සාධාරණද කියලා දැනගන්න පුළුවන්.
අපි යෝජනා කරලා තියෙනවා කුළුණු තුනක්. එකක් තමයි ප්‍රසම්පාදන කුළුණ. ආහාර කීයටද ගේන්නේ? තෙල් කීයටද ගේන්නේ? ගල් අඟුරු කීයටද ගේන්නේ?
පොහොර කීයටද ගේන්නේ? ඖෂධ කීයටද ගේන්නේ? කීයටද විකුණන්නේ කියන එක පිලිබඳ විවෘත වේදිකාවක් තනන්න කියලා. එමගින් මහජනයාට දැනගන්න පුළුවන් තමන් ආහාරවලට ගෙවන මිල කුමක්ද කියන එකත්, ඒ වගේම පාරිභෝගික අධිකාරියට ඒක පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.
දෙවෙනි එක තමයි රජයේ බලපත්‍ර, උප්පැන්න සහතික, මරණ සහතික, හැඳුනුම්පත් සහතික, එහෙම නැත්නම් අපේ ඔප්පු, මේ යන ආදී සියලුම දේවල් ඩිජිටල් වේදිකාවක් මතට ගැනීම විසින්, සෑම කෙනෙකුටම භාෂා භේදයෙන් තොරව අද මේ රටේ දෙමළ භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න තියෙනවා කියනවා, සිංහල භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න කියලා තියෙනවා.
නමුත් මේ තුළින් ජනතාවට බොහෝ දෙනෙක් ඉල්ලා හිටපු ස්වයං නිර්ණ අයිතිය තමන්ගේ පැවැත්ම තමන්ට සහතික කරගෙන ඕනෑම ආයතනයක් එක්ක ගනුදෙනු කිරීමේ අයිතිය, ඒ ස්වයං නිර්ණ අයිතිය ලැබෙනවා. මේ DPI එක අපි හරියට නිවැරදිව ක්‍රියාත්මක කළොත්.
තුන්වෙනුව සියලුම ගනුදෙනු සියලුම ආකාරයේ ගනුදෙනු බුලත් විට කඩේ ගන්න ගනුදෙනුවේ ඉඳන් සියලුම ගණුදෙනු, ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මතට එකක් අපේ තක්සේරුව හැටියට රාජ්‍ය ආදායම් බදු වැඩි කිරීමකින් තොරව දෙගුණයකින් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද බදු නොගෙවා ඉන්න පිරිසක් ඉන්නවා තමන්ගේ ආදායම වියදම නොදන්න.
මේ ක්‍රියාවලිය හරහා ඒකත් කරන්න පුළුවන් කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම මේකේ අවසාන ඉලක්කය හැටියට ඊ රුපියල හඳුන්වා දෙන තෙක් ගමන් කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා මේ තමයි අපගේ මූලික කාරණා ටික. ඉතාම වැදගත් නිර්දේශ ගණනාවක් තියෙනවා.
පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීමත්, පාරිභෝගික අයිතිය තහවුරු කරගැනීමත්, රාජ්‍ය සේවාවන් ලබාගැනීමට මහජනයාට තියෙන අයිතිය තහවුරු කරගැනීමත්, බදු පැහැර හැර සිටින, බදු ගෙවීමට හැකියාව තියෙන අය, බදු දැලට ළඟා කරගැනීම සඳහා වෙච්ච තාක්ෂණික ක්‍රියාදාමයක්, ඒ වගේම, නීතිමය වශයෙන්, ඒ ක්‍රියාවලිය පහසු කරවන ක්‍රියාදාමයක් අපි යෝජනා කර තිබෙනවා.”