පාසලක සිසුවියන් පිරිසකට ලිංගික අතවර කළැයි චෝදනා ලැබූ ගුරුවරයාට අධිකරණය දුන් නියෝගය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 14, 2023 03:29 PM GMT
krishani

krishani

Report

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයකුට චෝදනා එල්ල විය. 

ඒ යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ය.

එහිදී එම පාසලේ අදාළ ඉංග්‍රීසි ගුරුවරයාට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මාවතගම, අඹකොටේ, රන්ගලගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජසිංහ නමැති 55 හැවිරිදි පුද්ගලයක් ය.

සැකකරු විවාහක දෙදරු පියකු වන අතර තම දරුවන්ට සැකකාර ගුරුවරයා ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. 

එම පැමිණිලි මත විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල මූලස්ථාන පොලීසිය සඳහන් කළේ ය.

පොලිසිය අධිකරණය හමුවේ වාර්තා කළේ සැකකරු දඬුවම් මාරුවක් ලැබ මීට මාස තුනකට පමණ ඉහත දී මෙම පාසලේ සේවය සඳහා පැමිණි අයකු බවයි.

මේ අතර තම සේවාදායකයා සමඟ අමනාපයෙන් සිටින පිරිසක් ඔහු සහ විදුහල්පතිවරයා අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කීර්ති ජී.දුනුසිංහ මහතා අධිකරණයට පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේ ය.

එමෙන්ම සැකකාර ගුරුවරයාට ඉතා දැඩි ලෙස අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු කටයුතු අවසාන වන තෙක් සැකකරුට එම පාසල වෙත ඇතුළු වීම ද  තහනම් කර ඇත.

යම් ආකාරයකට පැමිණිලි පාර්ශ්වයට බලපෑමක් ඇති වන ආකාරයට කටයුතු නොකළ යුතු බව ද එසේ කළ බවට සනාථ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව ද ඒ මහතා එහිදී නියෝග කළේ ය.

මේ අතර එම විදුහලේ විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කර කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සංචිතයකට ඊයේ (13) දින සිට යොමු කර තිබෙනවා.

ReeCha