රැකියා කරන ඔබට අසුබ ආරංචියක්. - පැය 8 වැඩ මුරයට වෙන්න යන දේ මෙනන්. - අතිකාලත් නෑ.

Dinesh Gunawardena Manusha Nanayakkara Sri Lanka Government Of Sri Lanka
By Wayomi Oct 28, 2023 11:57 AM GMT
Wayomi

Wayomi

Report

නව සේවා නියුක්ති පනත මගින් සේවා නියුක්තිකයකුට අතිකාල දීමනාවලින් තොරව ආහාර විවේකය ඇතුළුව දිනකට පැය 12ක් සේවය කළ යුතු බවට යෝජනා වී තිබෙනවා.

මෙමගින් පැය 8ක වැඩ දිනය අහෝසි වන අතර පැය 8ක සේවා කාලයෙන් පසුව සේවයේ යොදවා ගන්නා සේවා නියුක්තිකයාට හිමි අතිකාල දීමනාවන්ද අහිමි කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තත්ත්වය ලෝක කම්කරු නීතිවලට පටහැනි බවට නිරීක්ෂණය වීම නිසා නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා වන කමිටුව මගින් සේවා අවශ්‍යතාව මත දිනකට පැය 08කට වඩා සේවයේ යොදවන සේවා නියුක්තිකයෙකු හට නියමිත පැය 8ක ​කාලයෙන් පසු වැඩ කරන සෑම පැයක් සඳහාම නියමිත පරිදි අතිකාල ගෙවීම අනිවාර්ය කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

සතියකට පැය 45ක් වැඩ කරන සේවකයකුට දින 1 1/2ක වැටුප් සහිත නිවාඩුව ලබාදීමට අදාළ ප්‍රතිපාදන ද ලබා දිය යුතු බවට නව පනත මගින් නිර්දේශ කර තිබෙන අතර සේවකයාට ලබා දී ඇති අසනීප නිවාඩු තවදුරටත් එලෙසම ලබා දිය යුතු බවටද පනත මගින් නිර්දේශ කර ඇත.

එමෙන්ම නව වෘත්තිය සමිතියක් පිහිටුවීමේදී සාමාජිකයන් 07 දෙනකුගෙන් සමන්විතව එය පිහිටුවීමට තිබූ අවකාශය මෙම නව පනත මගින් සාමාජිකයන් 100 දක්වා වැඩි කළ යුතු බවටද යෝජනා කර තිබෙනවා.

මේ අතර සේවා නියුක්තිකයෙකුගේ විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 55ක් විය යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර ඇත.

වයස අවුරුදු 60 දක්වා සේවයේ නිරත වීමට සේවා යෝජකයින් සමග දැනටමත් සේවා ගිවිසුම්වලට එළඹී සේවා නියුක්තිකයන්ට එම ප්‍රතිපාදනය අදාළ නොවිය යුතු බවටද නව සේවා නියුක්ති පනත මගින් නිර්දේශ කර ඇත.

එමෙන්ම සේවා යෝජකයාගේ හා සේවා නියුක්තිකයන්ගේ කැමැත්ත මත වෘත්තිය ස්වභාවය මත හා සේවානියුක්තිකයන්ගේ උපයෝගීතාවයේ අවශ්‍යතාව මත හා සේවකයාගේ කාර්යක්ෂමතාවය මත සේවා ගිවිසුම ප්‍රකාරව විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා දීර්ඝ කිරීමට ඉඩ සලසන ලෙසටද නව සේවා නියුක්ති පනත මගින් වැඩිදුරටත් නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර විසින් වර්තමානයට ගැළපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණා.

එම පනත සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විෂය භාර ඇමැති මනුෂ නානායක්කාරගේ සහභාගිත්වයෙන් ඉකුත් දා පැවැති අතර ඒ සඳහා දිවයිනේ ප්‍රධානතම වෘත්තිය සමිතිවල ප්‍රධානීන් මෙන්ම හාම් පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ද සහභාගි වී සිටියා.

එම සාකච්ඡාවලට අනුව සකස් කරන ලද නිර්දේශ ඇතුළත් නව සේවා නියුක්ති පනත් කෙටුම්පතට අදාළ යෝජනා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම සඳහා වන පත්‍රිකාවක් අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලය වෙතද යොමු කර ඇත.

ReeCha