දුරකතනය නාද වීම මරණයකින් අවසන් වෙයි (PHOTO)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී ජීවිතක්ෂයට පත්වූ ජයසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල්ගේ මරණය පහරදීමක් හේතුවෙන් සිදුවී ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් සැක පළ කරති.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ 45 හැවිරිදි අසංක ඉඳුනිල්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී ඔහුගේ හිස් කබලට දැඩි හානික් ඇති බව පවුලේ ඥාතීන්ට රෝහලේ වෛද්‍යවරුන් දැනුම් දී ඇත.
“කොන්දේ තුවාල තියෙනවා,කකුලේ තුවාල තියෙනවාලු කියලා තමයි මල්ලිට කියලා තියෙන්නේ,” යැයි මියගිය පුද්ගලයාගේ සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වන රජිත් පුෂ්පකුමාර පැවසීය.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ, අප්‍රේල් 30 වනදා සිය මිතුරෙකු වෙනුවෙන් ඇප තැන්පත් කිරීමට අසංක ඉඳුනිල් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබූ බවය.
ඔහු සඳහන් කළේ, එදින අධිකරණය තුළදී අසංකගේ දුරකථනය නාද වූ අතර, පරීක්ෂණයක් අතරතුර ඔහු සතුව ලයිටරයක් ද සොයාගත් බවයි.
එම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් යටතේ අසංක ඉඳුනිල්ට දින 14ක රක්ෂිත බන්ධනාගාර නියෝගයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් නීතිඥවරයා පවසයි.
මෙම පුද්ගලයාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කර, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.
මැයි 02 වැනි දිනට ආසන්නව ඔහුට සෞඛ්‍ය සම්බන්ධ ගැටළුවක් ඇතිවූ අතර, එය හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී. නමුත් තත්ත්වය තවදුරටත් බරපතල වූ බැවින් ඔහු හම්බන්තොට මහ රෝහලට මාරු කරනු ලැබිය.එහිදී ලැබුණු වාරිතාව වුයේ අසංක ඉඳුනිල් මිය ගිය බවයි.
මැයි 03 වන දින අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් හම්බන්තොට රෝහලේ සුළු සේවා පාලකයාට නියෝග කර ඇත්තේ, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු වන ගලගම මුල්ලගේ ලසිත් සුරංගට භාරදෙන ලෙසයි.
මියගිය අසංක ඉඳුනිල්ගේ මස්සිනා වන රජිත් පුෂ්පකුමාර පවසන්නේ, බන්ධනාගාරගතව සිටි අසංකගේ මිතුරා ද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
නීතිඥ සේනක පෙරේරා මහතා පවසන්නේ, “2019 වසරේදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවියන්ට දණ ගසා පොලුවලින් ගැසීමක්ද සිදු වුණා.
මෙය එවැනි වධහිංසා පරිසරයකි.
මෙම මරණය සම්බන්ධයෙන් සම්බන්ධිත අමාත්‍යවරයා වහාම අවශ්‍ය පියවර ගත යුතුය.
අපිත් එමගින් නිල වශයෙන් ඉල්ලීමක්ද සිදු කළා” යැයි ඔහු සඳහන් කළේය..
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් කරමින් පවසන ලද්දේ, බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියා කලහකාරී ලෙස හැසිරුණු බැවින් ඔහුට තනිව රැඳවීමට පියවර ගත් බවයි. එම ක්‍රියාවලිය අතරතුර, ඔහු බිම ඇද වැටී සිටිනු දැක, ඉක්මනින් රෝහල්ගත කළ බවත් එහිදී සඳහන් කෙරේ.
මෙම රැඳවියා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නවක රැඳවියන් රඳවනු ලබන වාට්ටුවක රඳවා සිටියේය. එහිදී ඔහුගේ කලහකාරී හැසිරීම හේතුවෙන්, වෛද්‍ය නිර්දේශයට අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට මාරු කර පසුව තනිව රැඳවීමට කටයුතු කරන ලදී.
එවිට ඔහු බිම ඇද වැටී සිටින බව දැක, කඩිනම්ව බන්ධනාගාර නිලධාරීන් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර, වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව ඔහු අගුණකොළපැලැස්ස මූලික රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කරන ලදී.
"හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, මෙම රැඳවියා මිය ගොස් ඇති බව සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලබා දී ඇති වාර්තාවට අනුව පහර දීමක් සිදුව ඇති බව" බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි.
"මෙම අවස්ථාවේදී, රඳවා සිටි රැඳවියාගේ කලහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැඳවියන්ගේ පහර දීමකට ලක්වීමේ සැකයක් පවතින බැවින්, එම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවද" බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
" බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ, "මෙම සිදුවීම සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පළමු පෙළ ජේලර්වරයෙකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශනය සදහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා පනවා තතිබෙන බවයි.
තවද, අගුණකොළපැලැස්ස පොලීසිය මගින්ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, අගුණකොළපැලැස්ස වැඩබලන මහේස්ත්‍රාත්තුමිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇති බව වාර්තා වෙයි.
