ප්‍රමිතියෙන් තොර විදුලි රැහැන් විකිණූ සුපිරි වෙළඳසැලට වැඩ වරදියි
අනිවාර්ය ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය නොමැති විදුලි රැහැන් රීල් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීමේ වරදට අනුරාධපුරයේ සුපිරි වෙළඳසැලකට රුපියල් 200,000ක දඩයක් නියම කර තිබේ.
අනුරාධපුර 11 වැනි වීදියේ පිහිටි ‘ආර්පිකෝ ඩේලි’ සුපිරි වෙළඳසැලේ පසුගිය අගෝස්තු 18 වැනිදා සිදු කළ වැටලීමකදී අනිවාර්ය SLS සහතිකය නොමැති ‘සමරා’ වර්ගයේ විදුලි රැහැන් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබියදී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, අදාළ නඩුව අගෝස්තු 21 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබේ.
එහිදී අධිකරණය විසින් අදාළ සුපිරි වෙළඳසැලට රුපියල් 200,000ක දඩයක් නියම කර ඇත.
විදුලි රැහැන් ඇතුළු විදුලි නිෂ්පාදන නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම පාරිභෝගික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.
ප්‍රමිතියෙන් තොර විදුලි නිෂ්පාදන භාවිතයෙන් විදුලි සැර වැදීම, විදුලි කාන්දුවීම් සහ ගිනි ගැනීම් වැනි අනතුරු ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බවද එම අධිකාරිය සඳහන් කරයි.
එබැවින් සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් සිල්ලර වෙළඳසැල්වලින් විදුලි රැහැන් මිලදී ගැනීමේදී ඒවායේ SLS සලකුණ මෙන්ම අනිවාර්ය තොරතුරු නිවැරදිව සඳහන් කර ඇත්දැයි පරීක්ෂා කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
නීති උල්ලංඝනය කිරීම් හෝ සැක සහිත නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දිය හැකිය.