බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කරන්න පොලීසියෙන් අදහස් විමසයි
මෙරට බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා ගතහැකි පියවර සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබාගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අවධානය යොමුව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ කාරක සභා රැස්වීමේදී, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සිට නඩු පැවරීම දක්වා පවතින නෛතික බාධා, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් සහ එමගින් රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම ජංගම දුරකථන සමාගම්වල ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අවභාවිත කිරීම වැළැක්වීමට තදින් නියාමන ක්‍රමවේද හඳුන්වාදීමටත්, අපරාධ විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමටත් යෝජනා විය.
මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය, වෘත්තීය පුහුණුව, විමර්ශන කුසලතා ඉහළ නැංවීම මෙන්ම කාර්ය සාධනය ඇගයීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම කෙරෙහි ද කාරක සභාවේ අවධානය යොමු විය.