මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට සැනසිලිදායක ආරංචියක් - නව LINAC යන්ත්‍ර සහ CT සිමියුලේටර් පහසුකම් කඩිනමින්
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ චිකිත්සක ප්‍රතිකාර සේවා පුළුල් කිරීම සහ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පවතින රැඳී සිටීමේ කාලය අවම කිරීමේ අරමුණින් නව රේඛීය ත්වරක (LINAC) යන්ත්‍ර මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
මීට අමතරව, රෝහලේ CT සිමියුලේටර් පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේදී පැවති විශේෂ පසු විපරම් කළමනාකරණ සමාලෝචන රැස්වීමකදීය.
නව LINAC යන්ත්‍ර මිලදී ගැනීම තුළින් රෝහලේ විකිරණ චිකිත්සක ප්‍රතිකාර ධාරිතාව ඉහළ නැංවීමටත්, දැනට පවතින පහසුකම් වඩාත් කාර්යක්ෂමව භාවිත කරමින් වැඩි රෝගීන් පිරිසකට ප්‍රතිකාර ලබාදීමටත් අපේක්ෂා කෙරේ.
එමෙන්ම විකිරණ චිකිත්සක ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන CT සිමියුලේටර් පහසුකම් වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ. මීට අමතරව රෝහලේ අනෙකුත් වෛද්‍ය උපකරණ සහ තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා වී ඇත.
රෝහලේ සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, විකිරණ චිකිත්සක තාක්ෂණවේදීන්, වෛද්‍ය භෞතික විද්‍යාඥයන් ඇතුළු තාක්ෂණික සහ සහායක කාර්ය මණ්ඩල අවශ්‍යතා පිළිබඳව ද සමාලෝචනය කර තිබේ.
මේ අතර, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) තාක්ෂණික සහාය ඇතිව අපේක්ෂා රෝහල සඳහා නව ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ ප්‍රගතිය ද මෙහිදී විමසා බැලීය. රෝහලේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පවතින ඉඩකඩ උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිත කිරීම සහ ඉදිරි කාලයේදී ඇතිවිය හැකි ප්‍රතිකාර අවශ්‍යතා සපුරාලීම එම ප්‍රධාන සැලැස්මේ අරමුණ වී තිබේ.
තවද, වෛද්‍ය උපකරණ නඩත්තු කිරීම, රෝහල් සේවා ඩිජිටල්කරණය, අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දෙන වෘත්තීය ගැටලු විසඳීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාව පුරා සිටින පිළිකා රෝගීන්ට විශේෂිත ප්‍රතිකාර සේවා සපයන ප්‍රධානතම රෝහලක් වන අපේක්ෂා රෝහලේ විකිරණ චිකිත්සක සේවා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව, හඳුනාගෙන ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, වෛද්‍ය උපකරණ සහ මානව සම්පත් ලබාදීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වී තිබේ.
චීන තරුණ සමුළුවට ගිය පිරිස ගැන පාර්ලිමේන්තුව උණුසුම් වෙයි -අමාත්‍යාංශයේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයට විතරද අවස්ථාව දයාසිරි උදේම ගේම ඉල්ලයි