සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටි දෙයක් අද දිවයිනට

covid19 Pfizer vaccination Nedharland
By Sewvandhi Sep 20, 2021 01:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් ඇමෙරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද අලුයම මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තාකරු ප්‍රකාශ කළේ.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට, කිලෝග්‍රෑම් 445 ක් බරැති මෙම එන්නත් තොගය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනඒමෙන් අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් දිවයිනට ගෙනඑනු ලැබුවා.

මෙම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩබෑමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර ඉන්පසුව අධිශීතකරණ ලොරි රථ මගින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර, බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා. පසුගිය සතිවලට සාපේක්ෂව මේ සතිය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ අඩුවක් පවතින බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව අද සංවිධාන කළ “වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි” ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර, පාසල් ළමයින් එන්නත්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කළ වහාම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ. වයස අවුරුදු 15 සිට ඉන් ඉහළ වයස්වල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.

ඒ, අනුරාධපුරය - එප්පාවල ප්‍රාදේශීය රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැනවූ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව අවධාරණය කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now