සාපෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

Education Sri lanka covid 19
By Sithumi Jul 19, 2021 11:38 AM GMT
Sithumi

Sithumi

Report

2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සෞන්දර්යය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 8 වන බදාදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

එම සිසුන් සඳහා පෙර පුහුණුවීම් කටයුතු පාසල්වල ආරම්භ කිරීමට සැලසුම්කොට ඇති අතර එම සිසු දරු දැරියන් පූර්ණ‍ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජූලි 26 වැනි සඳුදා දින සිට මාසයක කාලයක් පාසලට කැඳවීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

ඒ සඳහා විදුහල්පතිවරුන් විසින් මේ වනවිට අදාළ ‍විෂයභාර ආචාර්යවරුන් කැඳවා පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතු සැලසුම්කොට ඇති බව ද මේ සම්බන්ධ ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාරව සමාජ දුරස්ථභාවය ආරක්ෂාවන පරිදි අදාළ පුහුණු කටයුතු සිදුකිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. 2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 622,000ක් පෙනී සිටි අතර ඉන් සිසුන් 169,000ක් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිතය.

මේ අතර 2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධ අයදුම්පත්‍ර භාර ගැනීමට දැනට තිබෙන අවසාන දිනය ලෙස ජූලි 31 බවට ප්‍රකාශයට පත්කොට තිබුණ ද ඒ අයදුම්කරුවන්ට සාධාරණයක් ඉටු විය යුතු බැවින් එම අයදුම්පත්‍ර භාරගැනීම අගෝස්තු 07 වන සෙනසුරාදා දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කළ බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

ReeCha