නිරෝධායනය දඬුවමක් නොකරන්න - නීතිඥ සංගමය

Sri lanka lawyers association
By Sithumi Jul 10, 2021 01:44 PM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයක් වන "නිරෝධායන ක්‍රියාවලිය" දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිත නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. 

 විරුද්ධ වීමේ නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කිරීමට ඉඩ ලබානොදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙයි. 

 නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැලඳී ඇති හෝ එය වැලඳුණු බවට සැකකරන අයෙකුට පමණක් වන අතර ඇප මත නිදහස් කරනු ලබන පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීම නීතිවිරෝධී කටයුත්තක් බව නීතීඥ සංගමය පවසයි. විරෝධතා සඳහා අවසර ලබා නොදෙන බවට පොලීසිය නිකුත් කර ඇති නිවේදනයේ විශාල වශයෙන් ඒකරාශී වන විරෝධතා වැළැක්වීමට කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදී ඇති නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වනු ලබන රැස්වීම් හා විරෝධතා තහනම් කර නොමැති බව ඔවුන් සඳහන් කරයි. 

 පොලීසිය සිදුකරන මෙවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රඳවා තබාගැනීම් හේතුවෙන් කොවිඩ් 19 මර්දනය සඳහා ගනු ලබන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් ද අහිතකර ප්‍රතිඵල ඇතිකරනු ඇති බව නීතීඥ සංගමය පෙන්වාදෙයි. 

මේ හේතුවෙන් එම අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම්වලින් වැළකී සිටීම සඳහා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ ඒවායේ අරමුණ වන කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිත කරන බවට තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now