''කැපකිරීම් කිරීමටත්, පසුබැසීම් සහ සුළු පරාජයන් දරාගැනීමටත් සූදානම් විය යුතුයි'' - ඇමති අනිල් ජයන්ත අවධාරණය කරයි [VIDEO]
අපේක්ෂා කරන සමාජ පරිවර්තනය වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී කැපකිරීම් කිරීමටත්, ඇතැම් අවස්ථාවලදී පසුබැසීම් සහ සුළු පරාජයන් දරාගැනීමටත් සූදානම් විය යුතු බව අචාර්ය අනිල් ජයන්ත අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) සෙනසුරාදා පැවති වෘත්තීය සමිති ජාතික සමුළුවට එක්වෙමින් අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපි අපි පිළිබඳව තියෙන විශ්වාසය, අධිෂ්ඨාන ශක්තිය කිසිදු දේකට අපි පසුබට නොවිය යුතුයි. මේ පරිවර්තන යුගයකදී යම් යම් අවස්ථාවලදී අපට කැපකිරීම් කරන්න සිද්ධ වේවි. අපි කැපකිරීම් කරමු. සමහර තැන්වලදී අඩියක් පස්සට ගන්න සිද්ධ වෙයි. අපි අඩියක් පස්සට ගමු. සමහර තැන්වලදී පුංචි පරාජයන් අපිට දරාගන්න වෙනවා. මොකද මේ සමස්ත පරිවර්තනය ඇතුළේ ඉලක්කය ඇස තබාගත යුත්තේ මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයක් හදන, අපේ ශ්රමයට නිසි වටිනාකම ලබන සමාජයක් හදන, ඒ සඳහා වූ නිෂ්පාදන ක්‍රියාවලියක් හැදෙන, ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්රතිලාභ අපිට ලැබෙන යහපත් සුන්දර සමාජයක් වෙනුවෙන්. ඒක අපිට කළ හැකියි කියන අධිෂ්ඨානය තියෙනවා. ඒ අධිෂ්ඨානය අපි හැම කෙනෙක් තුළම ඉස්සෙල්ලාම ස්ථාපිත කරගන්න. ඒ අධිෂ්ඨානයෙන් වැඩ කරන්න. ඒ අනුව විශ්වාස කරන්න. පළමුව ඔබව විශ්වාස කරන්න. ඔබේ වෘත්තීය සමිති ව්‍යාපාරය විශ්වාස කරන්න. ඔබ ඔබේ වෘත්තීය සමිති නායකත්වය කෙරෙහි විශ්වාස කරන්න. ඔබ වෙනුවෙන්, අපි වෙනුවෙන් හදාගත්තු මේ ආණ්ඩුව, මේ ආණ්ඩුවේ නායකත්වය වෙනුවෙන් විශ්වාස කරන්න. ඒ විශ්වාසයෙන් ගැටගැහිලා අපි එකාවන්ව වැඩ කරමු. ඒ නිසා අපි අපේක්ෂා කරන කාලයට වඩා අඩු කාලයක් ඇතුළතදී මේ පරිවර්තනයේ ප්රතිලාභ අපි ඔක්කොටම ලබාගනිමින්, මනුෂ්‍යත්වය ඉහළට ඔසවා තබමින්, ශ්‍රමයේ ගාම්භීරත්වයට ගරු කරන සමාජයක් හැදීමට අපි දායක වෙමු කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.”