"ලංකාවට වඩා මෙහෙ සල්ලි හොයනවා , මගේ රස්සාව එක්ක මට මුළු ඇඟම වහගෙන ඉන්න බැහැ..." - ලංකාව හැර ගිය රංගන ශිල්පිනි විද්‍යා කලකට පසුව කී කතාව(PHOTOS)

By Sewvandhi Nov 16, 2021 11:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විද්‍යා මධුශංකනි කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන් .නමුත් ඇයගේ රුව බොහෝ දෙනෙකුට අමතක වෙන්න විදිහක් නැහැ. ටෙලි නාට්‍ය කිහිපයකින් දැකගන්න ලැබුණු විද්‍යා මේ වෙද්දී රංගනයට සමු දීලා විදෙස් රටක ජිවත් වෙන්නේ. අවුරුදු පහක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ සැමියා එක්ක ජිවත් වෙන විද්‍යා දැන් කායවර්ධන උපදේශකවරියක් හැටියට කටයුතු කරනවා. ඒ ගැන වගේම අතීතය ගැන කතා කරන්න විද්‍යා අපිත් එක්ක එකතු වුණා. මේ ඒ කතාබහ ගැනයි.

විද්‍යා දැන් රංගනය සමු දීලා ටික කලක් වෙනවා. කොහොමද නාදුනන රටකට වෙලා ගත කරන ජිවිතේ..?

මෙහෙ ජිවිතේ හරිම සුන්දර විදිහට ගෙවිලා යනවා. සතුටින් ජිවත් වෙනවා. ඇත්තම කිවොත් ලංකාවේ හිටියට වඩා මෙහෙ ජිවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ. ලංකාවේ ඉන්නකොට හිර වෙලා ජිවත් වුණා වගේ. නමුත් මෙහෙ මගේ සැමියා හා දරුවා එක්ක සතුටින් ජිවත් වෙනවා. මගේ සැමියාගේ නම ලක්මාල් ජයසුන්දර. එයා ඉස්සර සූපවේදියෙක්. දැන් වාහන විකිණුම් ව්‍යාපාරයක් කරනවා. අපේ පුතා ආචී ඉවෝන්. එයාගේ වයස අවුරුදු එකහමාරයි.

මම 2016 වර්ෂයේ ඉදලා රංගනයෙන් ඉවත් වෙලා ඔස්ට්‍රේලියාවට ආවා. විවාහයත් එක්කම. මේ වෙද්දී මම ටෙලි නාට්‍ය 34ක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපටි නම් දෙක තුනක රඟපෑවේ. මම මුලින්ම කලාවට එන්නේ අමරදේව මාස්ටර්ගේ ගීතයක විෂුවල් එකකින්. ඊට පස්සේ තමයි නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ නිලියක් හැටියට. මම වර්ෂ 1999යේ තමයි කලාවට සම්බන්ධ වෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න නිසා ආයෙමත් රංගනයෙන් දැකගන්න ලැබෙන්නේ නැති වෙයි නේද..?

මම ලංකාවට ආවත් එන්නේ කෙටි නිවාඩුවකට. නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. මෙහෙ රූගත කරන නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ඔබ බොහෝ දුරට රංගනයෙන් දායක වුණේ වැඩිහිටි චරිත, ඒ නිසාද රංගනයට සමු දෙන්නේ. එහෙම නැත්තම් රංගනය ගැන කලකිරීමෙන්ද, එහෙමත් නැත්තම් විවාහයත් එක්ක ආ වාරණ නිසාද..?

මට මගේ පෙණුමට සරිලන චරිත ලැබුණේ නැහැ. ගොඩක් දුරට අම්මගේ චරිතය තමයි රඟපෑවේ. රංගනය ගැන කලකිරීමක් නොතිබුණාම නෙමෙයි. මොකද අපි රංගනයෙන් සම්බන්ධ වෙන ඇතැම් නිර්මාණවලින් හරියට මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් ණයට ගන්නවා වගේ ඉල්ලන්න ඕන. කිසිම දියුණුවක් නැහැ.

හම්බකරන්න අපහසුයි. කැමති ඉලක්කවලට යන්න බැහැ ඒ ලැබෙන මුදල් මත. ඒ වගේම ඇතැම් නිර්මාණකරුවන් අඩු ගණනට කැමති අයට චරිත දීලා නිර්මාණ කරගන්න වටපිටාවක් ආවා. මේ හැම දෙයක් එක්කම මම හිතුවා විවාහයත් එක්කම සැමියා එක්ක ඕස්ටේලියාවේ පදිංචි වෙලා පවුල් ජීවිතය රැක ගන්න එක වැදගත් කියලා. කිසිම වෙලාවක මට නම් මගේ සැමියා වාරණ දාලා නැහැ. මෙහෙ ආවට පස්සේ කැමති විදිහට ජිවත් වෙන්න කියලයි කිව්වේ.

ඒ නිසාද ගැහැණු චරිත වැඩිය තෝරා ගන්නේ නැති වෘත්තීයක් ඔබ තෝරා ගන්නේ, කාය වර්ධන උපදේශකවරියක් හැටියට..?

මම මෙහෙ එද්දී මගේ බර කිලෝ 80ක් විතර. හරිම තරබාරුයි. ඒ නිසා මම ජිම් ගියා. ජිම් ගියාට පස්සේ මගේ ඇතුළේ හිටපු වින්ද්‍යාව හඳුනා ගන්න මට පුළුවන් වුණා. මගේ සැමියා කිව්වා මම කැමතිම දෙයක් තෝරාගෙන වැඩිදුර ඉගෙන ගන්න කියලා. මම හිතුවා කායවර්ධන උපදේශන පැත්ත මට ගැලපෙනවා කියලා. මම ඒ ගැන ඉගෙන ගන්න පටන් ගත්තා.

තවත් මම ඒ ගැන ඉගෙන ගන්නවා. ඒ අතරතුර කායවර්ධන උපදේශකවරියක් හැටියට කටයුතු කරනවා. මෙහෙ ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉගෙන ගෙන තියෙන මට්ටම අනූව. දැනට මට අවසර ලැබෙන්නේ කොටසක්. වැඩිපුරම කරන්නේ බර ඉසිලීම. පුළුවන් තරම් ඒ පැත්තෙන් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා.පුද්ගලික පුහුණුකාරිනියක් හැටියට කටයුතු කරනවා. කණ්ඩායම් පන්ති කරන්නත් අවසර ලැබුනා. ඒ වැඩකටයුතු කරගෙන ජිවත් වෙනවා.

ඒ කියන්නේ ලංකාවට වඩා මුදල් උපයනවා ඇති..?

අනිවාර්යයෙන්ම ඔව්. ලංකාවේ ඉද්දි හිතන දේ කරන්න බැහැ. මුල්‍ය ප්‍රශ්න එනවා. කොච්චර මහන්සි වෙලා වැඩ කරත් සල්ලි හොයන්න බැහැ. මෙහෙ එහෙම නැහැ. මහන්සි වෙලා වැඩ කරොත් හොඳට සල්ලි හොයන්න පුළුවන්. හිතන වාහනයක් ගන්න පුළුවන්. අපේ ඉලක්ක සපුරා ගන්න පුළුවන්. ඒ නිසා මෙහෙ හොඳයි.අනිත් එක ලංකාවේ නිලියක් කිව්වම බලන්නෙම වැරදි විදිහට. වැරදි මත පැතිරෙනවා. අනවශ්‍ය විදිහට හැසිරෙන අය ඉන්නවා, මුදල් හොයන අය නැතුව නෙමෙයි. නමුත් මට නම් අයුතු යෝජනාවත් ඇවිත් නැහැ.

සමාජ ප්‍රශ්න නැති නිසා හිතුමනාපෙට විලාසිතා භාවිතා කරනවත් ඇති..?

ලංකාවේ කොටට ඇදගෙන ගියත් කි දෙනෙක් හැරී හැරී බලනවද . මෙහෙ ඕපා දූප හොයන්න මිනිස්සුන්ට වෙලාව නැහැ. ඒ නිසා අපිට කැමති විදිහට ජිවත් වෙන්න පුළුවන්. මගේ සැමියා මට කියලා තියෙන්නේ ඔයා කැමති පහසු විදිහට අඳින්න පළදින්න කියලා. මම මට ගැලපෙන විලාසිතා කරනවා. කිසිම විදිහකින් වාරණ නැති නිසා. මගේ රස්සාව එක්ක මට මුළු ඇඟම වහගෙන ඉන්න බැහැ, ඊට සුදුසු ඇඳුමක් අඳින්න වෙනවා.

ඔබට ආදරය කළ රසිකයින්ට දැන් ඔබව අමතක වෙලාද..?

මම හිතන්නේ එහෙම නැහැ. මොකද ෆේස් බුක් එකෙන් එන ප්‍රතිචාරවලින් තේරෙනවා මාව බොහෝ දෙනෙකුට තවම මතකයි කියලා. ඉස්සර ගිය නාට්‍ය නැවත විකාශ වෙද්දී ඒ ගැන මගෙත් එක්ක කතා කරන රසිකයින් ඉන්නවා. මැසේජ් එවන අය ඉන්නවා. ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා.

ඔබට ගායනා කරන්නත් පුළුවන් නේද..?

ඉස්සර හිරු කොපි චැට් එකට ආරාධනා ලැබුණාම මම ගීත ගායනා කළා. ඊට පස්සේ මම ගීතයක් කළා. මම පදරචනය කළේ . සංගීතය රොෂාන් ප්‍රනාන්දුගේ. ඔබ මහෝගයක් වුවා ගීතය. ඒකට රූප රචනයක් කරන්න ඉන්නේ මෙහෙ. ටික දවසක් යයි.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery