දුම්වැටි මිල අහස උසට නගී?..භාවිතා කරන අයට රතු එළියක්.

Sri Lanka Drugs Text
By Aruna Sep 30, 2021 05:04 AM GMT
Aruna

Aruna

Report

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් සමග ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් දුම්වැටි භාවිතය අවම වනු ඇතැයි, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වනවිට සකස්කර ඇතැයි ද , දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා එහිදී පවසා තිබෙනවා.

2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරී පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා අතර ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථානවල දුම්පානය, ආදී කරුණු සම්බන්ධයෙන් පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති ගෙන ඒමට ද අපේක්ෂිතයි.

මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාදය යාවත්කාලීන කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා පුළුල් ප්‍රචාරයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට උපදෙස් දී ලබා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha