වසර 22ක් රට වෙනුවෙන් කැපවී ආබාධිතවූ රණවිරුවා වසර 13ක් තිස්සේ බිරිඳ බේරාගැනීමේ සටනක - සංවේදී වීඩියෝ සහිතයි (VIDEO)
වසර 22ක් මව්බිම රැකගැනීම වෙනුවෙන් දිවි දෙවැනි කොට සේවය කළ යුද හමුදා විශ්‍රාමික ආබාධිත රණවිරුවෙකුගේ සංවේදී කතාවක් අපට වාර්තා විය. ඔහු මේ වනවිට තම ආදරණීය බිරිඳගේ දිවි රැකගැනීමේ සටනක නිරතවෙමින් සිටී. ඒ ඇය වසර 13ක් තිස්සේ පීඩාවිඳි වකුගඩු රෝගය හේතුවෙනි.
මෙම සංවේදී කතාව වාර්තා වූයේ ගලේවෙල අළුත්වැව බඹරගස්වැව ප්‍රදේශයෙනි. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන එච්.එම්.සී. ටී.විජේරත්න ත්රස්තවාදීන්ට එරෙහි මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවකදී ප්‍රහාරයකට මැදිවී හිසට වෙඩි වැදී පාදයක් ද අහිමිවී තිබුණි. යුද හමුදාවේ 9 වෙනි සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ඔහු කා අතරත් ජනප්‍රිය වී සිටියේ "අලි පැටියා" නමින්ය.
ඒ අනුව වසර 22ක සේවා කාලයෙන් පසුව දරු තිදෙනා සහ බිරිඳ සමඟ සතුටින් ජීවත්වීමට වීශ්‍රාම ගිය මෙම යුද හමුදා සෙබළාට අද අත්වී ඇත්තේ නොසිතූ ඉරණමකට මුහුණ දෙන්නටය. විජේරත්නගේ බිරිඳ වන කේ.ජී. ශ්‍රියානි කුමාරි තුන්වැනි දරුවා බිහිකිරීමට සූදානම් වෙද්දී වකුගඩු රෝගියෙකු බවට හඳුනාගෙන තිබුණි.
ඇය දැනට වසර 5ක පමණ කාලයක සිට සතියට දෙවතාවක් රුධිරය මාරු කරගැනීමෙන් ජීවිතය ගැටගසාගෙන සිටින්නීය. විජේරත්න සඳහන් කළේ ඒ සඳහා වරකට රුපියල් 5,000ක් පමණ මුදලක් වැයවන බවත් සිය පවුලේ තත්ත්වය අනුව එම මුදල දරාගැනීම ඉතා අපහසු බවය.
ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සිය ත්‍රීරෝද රථයත් උකසට තබා ඇති බවත් දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු පවා සිදුකරගෙන යන්නේ දැඩි අපහසුතා රැසක් මධ්‍යයේ බවය. සිය පවුල පත්වී ඇති තත්ත්වය ගැන දැඩි වේදනාවෙන් කතා කළ විජේරත්න ඉල්ලා සිටින්නේ හැකි අයෙක් වේ නම් පුංචි පිහිටක් හෝ ලබාදෙන ලෙසය.
සිය බිරිඳව වෛද්‍යවරයෙකු වෙත පෙන්වා ඇයට සුදුසු ප්‍රතිකාර ලබාගැනීමට සහයෝගය දෙන මෙන් ද ඔහු ඉල්ලයි. සිය මතකය අවදි කරමින් විජේරත්න සඳහන් කළේ,
"මා සමග සිටි මිතුරා මා ඉදිරියේදීම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මියගිය. පසුව ඔහුගේ නිවසේදී මිතුරාගේ මව කරන ලද ඉල්ලීමකට දැන් විවාහවී සිටින බිරිඳ ශ්‍රියානි කුමාරි හමුවුණා. ඇය මිතුරාගේ නැගණිය. කවදාවත් දැකලා නැති ඇයව මම විවාහ කරගත්තේ මිතුරාට තිබූ ගෞරවය නිසා. ඔහු ඇයව පණ මෙන් ආරක්ෂා කළා. මම ඒක දැනන් හිටියේ."
(එච්.එම්.සී. ටී.විජේරත්න - 076 1263 394)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |