අපි ප්‍රාර්ථනා කරපු විදියට දරුවො හයදෙනාම සම්බුද්ධ ශාසනේට දෙන්න අපි ලෑස්තියි
දරු පෙම මහමෙරක් තරමටම වූයෙන් වාසනාත් උදයංගත් බලා සිටියේ ඒ ගැන පුංචිම හෝ ඉඟියක් ලැබෙනතුරුය. ඒ, ඒ වනවිට ඔවුන් අතිනත ගෙන මාස හය හතක්ම ගෙවී ගොස් තිබූ බැවිනි. ‘
‘පෝයෙන් පෝයට තමයි අපි එහෙම දවස් ගැන්නේ. ඇත්තටම විවාහ වුණු ගමන් අපි දරු පැටියෙක් බලාපොරොත්තු වුණා. දරුවෝ කිහිපදෙනෙක් පවුලට එකතු කරගන්න ඕන කියලා තමයි අපි දෙන්නා නිතර නිතර කතා වුණේ. එහෙම වෙලාවට වාසනා කිව්වේ සංසාරේ පුරාවට ප්‍රාර්ථනා කළ දරු පැටව් මේ ආත්මෙදි අපි ළඟට ඒවි කියලයි.
ඒ ප්‍රාර්ථනා හිත ඇතුළේ අලුත් වෙද්දී, අපි වෛද්‍ය උපදෙස් පැතුවා වගේම, ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට, රුවන්වැලි මහා සෑයට, කැලණිය පුදබිමට කිරිආහාර හදාගෙන ගිහින් පූජා කළා. ඒ පූජා කරලා අපි ප්‍රාර්ථනා කළේ දරුවෝ ගොඩක් අපේ පවුලට දෙන්න කියලා.
ඒ අතරේ වාසනා තව දෙයක් කිව්වා. ඒ තමයි අපි ඒ දරුවෝ සම්බුද්ධ සාසනේ පැවිදි කරලා, එයාලගෙන් බණ පදයක් අහලා මේ සංසාර ගමනින් එතෙර වෙමු කියලා.’’ ඉකුත් (21) බ්‍රහස්පතින්දා, පොහොය ගෙවී හෝරා කිහිපයක් ගතවෙද්දී උපත ලද ලංකාවේ පළමු සය නිවුන් දරුවන්ගේ පියා ප්‍රභාත් උදයංග මරවනාගොඩ (35) ‘ධරණී’ හා කතාබහට එක්වූ අයුරුය ඒ.
ලංකාවේ පළමුවරට ඉපදුණු ඒ සය නිවුන් දරුවන්ගෙන් තිදෙනෙකු ගැහැනු දරුවන්ය. තිදෙනෙකු පිරිමි දරුවන්ය. මේ පැටවුන් හයදෙනා මෙලොවට බිහි කරමින් ලෝකයක ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූ අම්මා තිස්එක් හැවිරිදි දිලිනි වාසනා දයානන්ද ය.
උදයංගගේත් වාසනාගේත් උපන්ගම වව්නියාව මාමඩුවය. ඔවුන් කුඩා වියේ සිටම දැන හඳුනාගෙන සිටියේ ළඟම ඥාතීන් වූ නිසාය. උදයංග සරසවි අධ්‍යාපනයෙන් පසු පෞද්ගලික ආයතනයක යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු ඇරඹීය. වාසනා පාසල් අධ්‍යාපනයෙන් පසු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරියක ලෙස කටයුතු කළාය. ‘
‘ඇත්තටම ඔය කාලේ අපි දෙන්නගේ පුංචි ආදර කතන්දරයකුත් තිබුණා. දවසක් අම්මා, ‘පුතේ අපි ඔයාට කෙනෙක්ව යෝජනා කරන්න හදන්නේ’ කියලා කිව්වා. බලද්දි අම්මගේ යෝජනාවේ හිටියෙත් වාසනා. මගේ හිතේ හිටියෙත් ඇය නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. අපේ සිතුම් පැතුම් බොහෝම සමානයි.’’
ඒ අනුව සියල්ලන්ගේම ආශිර්වාදය මැද වාසනාත් උදයංගත් අතිනත ගන්නේ 2019 මැයි මස 16 වනදාය. විවාහයෙන් පසු ඔවුන් කැලණිය ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට ආවෝය. කැලණිය පුදබිමද කිට්ටුවෙන්ම එම නිවස වූයෙන් දෙදෙනා නිතර නිතර පන්සලට ගොස් බුදුගුණ සිහි කරමින් ආදරණීය වූ දරු ප්‍රාර්ථනාවක්ද කළෝය. ‘
‘මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ අලුත් අවුරුද්දට අපි ගමේ ගිහින් ආවා. ඒ වෙනකොට විශේෂඥ වෛද්‍ය තිළිණ ගමඇතිගේගේ උපදෙස් අනුව වාසනා ඖෂධ වගේම, කෑම ගැන, ව්‍යායාම ගැන උනන්දුවෙන් කටයුතු කරමිනුයි සිටියේ. අප්‍රේල් විසිවෙනිදා උදේ, වාසනා කිරිබත් කන්න ඕන කියලා කිව්වා.
ඒ වෙද්දි මගේ අම්මත් කැලණියේ ගෙදර හිටියේ. අම්මා කිරිබත් හැදුවා. ඒ වගේම, බුද්ධ පූජාවට කිරිආහාර හදලා පන්සලට පූජා කළා. ඒ වෙද්දිත් අපි දන්නේ නැහැ ඇය ගැබ් අරගෙන කියලා. ඊටපස්සේ ඒ වෙනකොට තිබුණු ශරීරයේ වෙනස එක්ක ගර්භනී බව හඳුනගන්න මූලික පරීක්ෂාව කළා. එය තහවුරු වුණා. බ්ලඩ් ටෙස්ට් එකක් කරලා ඒක හරියටම දැනගන්න අපට ඕන වුණා. පස්සේ එයත් තහවුරු වුණා.’’ අනතුරුව ඔවුන්ට ඕනෙ වූයේ ස්කෑන් පරීක්ෂාවකට ලක්වීමටයි. ඒ වෛද්‍ය තිළිණ ගමඇතිගේගේ උපදෙස් මතය. ‘
‘අපි රෝහලට යද්දිත් වාසනා මට කිව්වා අපිට බබාලා දෙන්නෙක් වෙන්නැති කියලා. ඒ තරමට එයා විශ්වාසයෙන් සතුටකින් එයා හිටියේ. පළමු ස්කෑන් පරීක්ෂණයේදී බබාලා දෙන්නෙක් කිව්වා. තව ටිකක් බලලා ආයෙම ඩොක්ටර් තිළිණ කිව්වා ඔයාලට බබාලා තුන්දෙනෙක් කියලා. තුන්වෙනි බබා ගැන කියද්දී ඒක හීනයක්ද කියලා හිතාගන්න අපට බෑ.
ඊළඟට තවත් ටිකක් පරීක්ෂා කරලා කිව්වා හතරදෙනෙක් කියලා. එතකොට නම් මට ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටුණා. අපි දෙන්නම මොහොතකට පියවි සිහියෙන් ඈත්වුණා වගේ. ඩොක්ටර් තිළිණ මේ සම්බන්ධව ඉන්න හොඳම විශේෂඥ වෛද්‍යවරයා හැටියටයි මම දකින්නේ. ඔහුගේ ඒ විශේෂඥ දැනුම අපට මේ සතුට ලබන්න බෙහෙවින්ම උපකාර වුණා.’
’ ඊළඟ ස්කෑන් පරීක්ෂාව යෙදී තිබුණේ තවත් සති දෙකකිනි. ඒ වනතුරු ඔවුනට ඉවසිල්ලක් වූයේ නැත. වාසනා රෝහලට කැටුව ගිය උදයංග ඊළඟ ස්කෑන් පරීක්ෂණයටද ඇයව යොමු කළේය. එදින ඔවුන් ඇසුවේ ලංකාවේ එතෙක් මෙතෙක් කිසිඳු මවක් පියෙක් නොඇසූ පුවතකි. ඒ වාසනාගේ කුස තුළ දරු පැටවුන් හයදෙනෙකු සිටිනා බවය.එදා සිට වාසනා බොහෝ සෙයින් ප්‍රවේසම් වූවාය. ආහාර, ව්‍යායාම ගැන විශේෂයෙන් උනන්දු වූවාය.
කිසිඳු රූපලාවන්‍ය ද්‍රව්‍යයක් භාවිතා කළේ නැත. මේ අතරතුර විශේෂඥ වෛද්‍ය තිළිණ ගමඇතිගේ මාර්ගයෙන් ඔවුනට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා හඳුනාගන්නට ලැබුණි. ඔහුගෙන් ලද වෛද්‍ය උපදෙස් අනුව සියල්ල සැලසුම් විනි. සය නිවුන් දරු උපතකට මුහුණ දෙන පළමු අවස්ථාව නිසාම වෛද්‍යවරුන්ටද එය අභියෝගයක් විය. ‘‘ඇත්තටම වාසනාට මුල් කාලෙවත් වමනයක් ආවේ නෑ.
කකුල් ඉදිමුණේ නෑ. එයා බොහොම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදිහට හිටියා. පලතුරු වර්ගවලින් කන්න ආසම වුණේ අඹ. අඹ කෑමේ ආසාව නිසා මං එයාට විහිළුත් කළා ලැබෙන්නේ ‘මැංගෝ බබාලා’ කියලා.’’ උදයංග කීවේ හිනැහෙමිනි. වාසනා මසකට කලින් රෝහල්ගත කළ යුතුව තිබුණි. ඇයව මාස්පතා ස්කෑන් පරීක්ෂණවලට ද යොමුකළ අතර, ඔවුන් නයින්වෙල්ස් පෞද්ගලික රෝහලේ සායනවලට සහභාගී වුණි. වාසනාට එහිදී විශේෂ සැලකිල්ලක් ද ලැබුණාය.
‘‘දරුවෝ ලැබෙන්න සති දෙකක් විතර තියෙද්දී වාසනාගේ බර වැඩිවුණා. ඒ වෙලාවේ ඩොක්ටර් ටිරාන්ගේ උපදෙස් මත දරු ප්‍රසූතියට ඇයව රාගම රෝහලට පළමුවෙන් ඇතුළත් කළා. අපි මුලින් රජයේ රෝහලක් තමයි බැලුවේ. රාගම පහසුකම් තිබුණත්, දරුවෝ හයදෙනෙක් බිහි කරගන්න රෝහල තුළ තිබුණු පහසුකම් අඩුයි. ඒ වගේම උස ඇඳක වාසනාට ඉන්න බැරිකම තිබුණා.
ඒ නිසා අපි නයින්වෙල්ස් ගැන දන්න නිසාත්, ඩොක්ටර් ටිරාන්ම කිව්වා එම රෝහලට ඇතූළත් වෙන්න කියලා.’’ ඉන්පසු රෝහල මෙම විශේෂිත දරු ප්‍රසූතිය උදෙසා පුදුමාකාර කැපකිරීමක් කළේ ඒ වෙනුවෙන්ම විශේෂ ඒකකයක් ස්ථාපිත කරමිනි. ඇතැම් උපකරණ අලුතින්ම රෝහලට ගෙනාවේ මෙම දරු උපත වෙනුවෙනි. රෝහල් කාර්ය මණ්ඩලයද හතළිහකට අධික පිරිසක් යොදා ගැනීමට නියමිත විනි.
ඒ වෙනුවෙන් වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය පෙරහුරු කිහිපයක්ම කළේ මෙම ප්‍රසූති කාර්යය වඩාත් පහසු කරවනු පිණිසය. ඒ අනුව සති තිස්එකකදී ඒ වාසනාවන්ත දරු පැටවුන් හයදෙනාම සිසේරියන් සැත්කමකින් බිහිකර ගැනිණි. ඒ විනාඩි තුනක් ඇතුළතය. ඒ මොහොතේ වාසනා අසළ සිටි උදයංගට පුංචි පැටවුන් හඬන හඬ ඇසුනි. ඔහු වාසනාගේ කනට කර කීවේ, ‘‘ඔන්න බබාලා ටික අඬාගෙනම එළියට ආවා. බයවෙන්න එපා’’ කියායි.
‘‘දරු ප්‍රසූතියෙන් පැය එකහමාරකට විතර පස්සේ මට බබාලගේ මූණු බලන්න ලැබුණා. කියන්න වචන නෑ. මේ ලෝකෙ වාසනාවන්ත තාත්තා මම කියලා හිතුනා. ඒ වෙලාවේ බබාලා හිටියේ වෙන්ටිලේටර් උපකරණවලට සම්බන්ධ කරලා. ඒත් ඒ මූණු දකිද්දී මට දැනුණ සතුට කොහොම කියන්නද?’’ වාසනා ඉන්නේද ඒ සතුටින්මය. මවකට පියෙකුට ලැබිය හැකි ඒ සතුට ඉතාම දුර්ලභ වූවකි. ඇයත් දරුවනුත් සුවෙනි. තවත් සතියකින් දෙකකින් ඔවුනට දරු සම්පත් හයක් එකවර ගෙදර ගෙන යා හැකිය. ඒ ලෝකයක ආදරය, පැසසුම් මෙන්ම බොහෝදෙනාගේ ආදරණීය තිළිණ මැද්දෙනි.
මේ අතර, සාසනයට පූජා කරන්නට දරුවන් ප්‍රාර්ථනා කළද, දැනුත් ඒ ප්‍රාර්ථනාව එලෙසම දැයි අප වාසනාගෙන් විමසුවෙමු.‘මේ දරුවෝ අපේ තමයි. මේ සතුටත් කියලා නිම කරන්න බෑ තමයි. ඒත් අපේ බබාලා අපි ළඟම ඉන්න ඕන, අපිව බලාගන්න ඕන කියලා දෙයක් නෑ. එයාලා හයදෙනාම සාසනයට යනවනම් මම ඒකට හිත හදාගෙන ඉන්නේ. අපි මේ යන්නේ සංසාර ගමනක්නේ. එයාලගෙන් බණ පදයක් අහලා ඒ සසර ගමන කෙටි කරගන්න ලැබෙනවා නම් අපි දෙන්නටම ලබන්න පුළුවන් සැබෑම සතුට ඒකයි.’’
ඇය කියන්නීය. දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්නට, ලස්සන කරන්නට ඔවුන් දෙදෙනා බොහෝ කැපකිරීම් කරන්නට සුදානමිනි. මේ සතුට ලබන්නට ශක්තියක් වූ රෝහල් කාර්යය මණ්ඩලය, තම ආයතන ප්‍රධානීන් ඇතුළුව උපකාර කරන්නට, සුබ පතන්නට ඉදිරිපත් වූ සියල්ලන්ටත් උදයංග බෙහෙවින්ම ස්තූති කළේය.
ඔවුන් ප්‍රාර්ථනා කළ ලෙසම ඔවුනට ලැබුණු ඒ පින්බර දරුවන් හයදෙනාගේ අනාගතය වෙනුවෙන් ‘ධරණී’ ද මූල්‍යමය තිළිණයක් වෙන්කළේ බොහෝ කැමැත්තෙනි.
ලොවෙන් ලැබෙන සුබ පැතුම් මල් පොකුරු මැද, ඔවුන්ගේ අනාගතය බොහෝ වාසනා වේවා යැයි අප නැවත නැවතත් හදවතින්ම ප්‍රර්ථනා කරන්නෙමු.