තහනම් ධීවර කටයුතුවල නිරත වූ 33ක් ඩිංගි යාත්‍රා 18ක් සමඟ අත්අඩංගුවට

Report

දේශීය ජල තීරය ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ ධීවර පරීක්ෂක කාර්යාල එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මාලාවකදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 33 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 18ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අගෝස්තු මස 16 වන දින සිට 27 වන දින දක්වා වූ කාල සීමාව තුළ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව නිල වශයෙන් නිවේදනය කරයි.

නැගෙනහිර සහ උතුරු නාවික විධාන මඟින් ත්‍රිකුණාමලය ඉලන්කන්තෙයි, ලංකාපටුන, බ්ලැක් පොයින්ට්, අරිසිමලේ, නිලාවේලි, කල්කුඩා, කොක්කුතුඩුවායි, අඩුක්කුපාඩු, කොකනට් පොයින්ට්, මඩකලපුව, යාපනය වෙත්තලකේනි, සහ කඩ්ඩයිකාඩු යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විශේෂ වැටලීම් දියත් කර ඇත.

මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, කෝකිලායි, යාපනය සහ මඩකලපුව යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත මෙන්ම කල්කුඩා සහ නිලාවේලි යන පොලිස් ස්ථාන වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.