විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka
By Wayomi Oct 28, 2022 10:17 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඉන්දීය ණය ආධාර ,චීන මානුෂීය ආධාර, දේශීය නිෂ්පාදන, හදිසි මිලදීගැනීම්, ආසියානු ආයෝජන,බැංකුවේ ණය සහනාධාර, රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ඇතුළු ක්‍රම ඔස්සේ මෙලෙස ඖෂධ ලැබීමට නියමිතයි. 

විශේෂයෙන් ගෝස් ,පුළුන්, සේලයින් ,dextrose ජලභීතිකා ඔෂධ, සර්ප විෂ සඳහා ලබාදෙන ඖෂධ, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය නැවැත්වීමට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිට රට තුළ පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී .ආර් .කේ.හේරත් මහතා මෙහිදී සඳහන් කළා.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ, ඖෂධ සඳහා රජය මුදල් වැය කර තිබියදී ඖෂධ හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ බලධාරීන්ගේ වගකීමක් බවයි.

එමෙන්ම සැලසුම් සහිතව ඖෂධ හිඟයක් පිළිබඳව ඇතැමුන් ගෙන යන ප්‍රචාර පිළිබඳව සැලකිලිමත් නොවී ඖෂධ තත්ත්වය පිළිබඳව නිවැරදි හා සත්‍ය තොරතුරු දෛනිකව අධ්‍යනය කරමින් මහජනතාවට ඖෂධ අඩුපාඩුවකින් තොරව ලබාදීමට සෑම පියවරක්ම ගන්නා ලෙසද අමාත්‍යවරයා අදාල බලදාරීන්ට උපදෙස් ලබාදුන්නා.

විශේෂයෙන් පිළිකා රෝගීන්, ගර්භණී මව්වරුන් හෘද රෝගීන් ඇතුළු විශේෂ රෝගී තත්ත්වයන් පිළිබඳ වඩා සැලකිලිමත් වෙමින් එම ඖෂධ පිළිබඳ පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ පිළිබඳදව වඩාත් අවධානය යොමු කළ යුතු බවත් විශේෂයෙන් වසරකට අවශ්‍ය ශල්‍ය උපකරණ පිළිබඳව පූර්ව ගණනයක් කර ඇණවුම් සිදු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගි වුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න..

JOIN NOW