අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගෙන් තවත් සංවේදී අනාවරණයක් – දැරියගේ පියා අත්අඩංගුවට

By Wasantha Jul 13, 2021 12:43 PM GMT
Report

ලිංගික සේවා සඳහා අන්තර්ජාලය ඔස්සේ විකුණන ලද 15 හැවිරිදි දැරියගේ පියා ද අත්අඩංගුවට ගත් බව ‍පොලිසිය පවසයි.

එලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂණ අතරතුර මෙම දැරිය කරන ලද අනාවරණයක් හේතුවෙනි. 2018 වර්ෂයේ දී ඇය 12 හැවිරිදි දැරියක්ව සිටිය දී පියාගේ අතවරයකට ලක්වූ බව ළමා හා කාන්තා කාර්යාංශයට අනාවරණය වී තිබේ.

දැරිය අළෙවි කිරීම සඳහා ආධාර අනුබල දුන් ඇගේ මව ද මීට පෙර අත්අඩංගුවට ගත් අතර පසුව ඇය ඇපමත මුදාහරින ලදී. ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ රෝහල් ගතකර සිටින දැරියට කායික මෙන් ම මානසික ප්‍රතිකාර ද ලබාදෙන බවයි.

මෙම දැරිය මත්ද්‍රව්‍යවලට පවා ඇබ්බැහි කරගෙන ඇති බවත් ඇයට සිදුව ඇති මානසික බලපෑම ඉතාමත් දරුණු බවත් මහාචාර්යවරයා පවසයි.

එමෙන් ම මෙම දැරිය සමාජ රෝග අවදානමක පසුවන බව ද මහචාර්ය විදානපතිරණ පවසයි. දැරිය ලිංගික සේවා සඳහා අළෙවි කළ හා මිල දී ගත් පුද්ගලයන් ද ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් ද වශයෙන් දැනටමත් පුද්ගලයන් 41 දෙනෙක් අත්අඩගුවට පත්ව සිටිති.