යෝෂිතට කොන්ද අශ්‍රිතව රෝගී තත්වයක් - විශේෂ විස්තරයක් සමඟ අධිකරණයට දැනුම්දෙයි
අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 26 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (12) දින නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිතව තිබුණද, නඩුව උදෑසන කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ සිය සේවාදායකයා කොන්ද ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පසුවන බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි බවයි.
ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පවසා සිටියේ අද දින පැමිණිල්ලේ සාක්ෂි අවසන් කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටි බවයි.
පැමිණිල්ල වෙනුවෙන් තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු පමණක් සාක්ෂියට කැඳවීමට ඇති බවත්, ඉදිරි නඩු දිනයේදී එම සාක්ෂිකරුවන් තිදෙනා කැඳවීමට අපේක්ෂා කරන බවත් ඔහු අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ලබන 26 වැනිදා වැඩිදුර නඩු විභාගය පවත්වන බව නියම කළ අතර, එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට අවවාද කළේය.
රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.