මොකද්ද මේ හර්තාල් ව්‍යාපාරය..රඹුක්කන වෙඩිතැබීමෙන් පසු: හරියටම අදින් 69 වසරකට එපිට සිදුවූ පනස් තුනේ හර්තාලය දෙස නැවත හැරී බලමු....(PHOTOS)

Hartal movement Galle face protest Sri lankan sinhala Article Sri lankan 1953 Hartal Mr.N.M.Perera Mr.J.R Jayawardhana Mr.Pilip Gunawardhana Mr.Dudley Senanayake Mr. Colvin r. de Silva Rabhukkana protest
මාස 2 කට පෙර
Subodha

Subodha

1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලය ආරම්භ විය.

ඒ හරියටම අදින් වසර 69කට පෙරාතුවය. ‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ එය සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය තුළ ඇති නොනගත කාල සීමාව අනුගමනය කිරීමට සමාන විය යුතු බවය.

එනම් එය සියලු වැඩ අත්හැර නිවෙස්වලට වී කාලය ගත කිරීමක් විය යුතු බවය.

පැහැදිලිවම පෙනුණු පරිදි එය පැවති ඉතාමත්ම සන්සුන් සහ ප්‍රචණ්ඩකාරී නොවන විරෝධය දැක්වීමේ ක්‍රමය විය.

ඒ අතර මේ තීරණය බණ්ඩාරනායක හා චෙල්වනායගම් තුළ වූ වංචාකාරී ස්වභාවය එළියට දැමීය.

හර්තාලයට සහභාගී වීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවෙන් නිදහසට කාරණය ලෙස ඔවුන් ප්‍රකාශ කළේ ඇතිවිය හැකි ප්‍රචණ්ඩකාරී වාතාවරණයට දායක වීමට තමන් අකැමති බවයි.

එහෙත් සැබෑ කාරණය ඔවුන් මහත්මා ගාන්ධිටත් වඩා අවිහිංසාවාදී වීමද?

එසේ නැතහොත් සැබෑ හේතුව ඔවුන් ඒ වන විට ප්‍රබල ලෙස නැග එමින් සිටි වාමාංශික පක්ෂවල ජනප්‍රියතාව පිළිබඳ බියට පත් වීම විය නොහැකිද?

රඹුක්කන මහජන විරෝධතාවය හමුදාව හා පොලිසිය යොදවා මර්දනය කොට එහි සිටි අයෙකු මියගොස් ඇති පසුබිමක, ආණ්ඩු පක්ෂයට එරහිව සාමකාමි අරගලයක් ඇති පසුබිමකදී හර්තාල අත්දැකීම නැවත විමසා බැලීම ප්‍රයෝජනවත් විය හැකිය.

මීට අවුරුදු 60 කට ආසන්න කාලයකට පෙර, 1953 දී සිදු වුණු මේ සිදුවීම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමකි.

ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකට එරෙහිව මහජනයා පාරට බැස විරෝධය පළ කිරීම නිසා මුළු රටේම කටයුතු ඇණ හිටි අතර කැබිනට් මණ්ඩලයට තම කැබිනට් රැස්වීම පවත්වන්නට සිදු වූයේ වරායේ නැංගුරම් ලා තිබුණු විදේශීය යුද නැවක් තුළය.

ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබන්නේ ඉන්දියාවේ මෙන් ජාතික විමුක්ති අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ.

ලාංකික නායකයන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ සීමිත ස්වයං පාලන බලයකි.

ලංකාවට ‛ස්වාධීනත්වය ප්‍රදානය කිරීම’ ජාත්‍යන්තර දේශපාලනයේ ඇති වූ වෙනස්වීම්වල ප්‍රතිඵලයකි.

කෙසේ වුවද ස්වාධීනත්වය ලැබීමත් සමඟම තමන්ගේ කටයුතු තමන් විසින් බලා ගැනීමට ලාංකිකයන්ට සිදුවිය.

එහිදී පාලකයන් කළේ යටත් විජිත පාලකයන් විසින් මේ රටේ ඉතිරි කොට ගිය විදේශ විනිමය සංචිතයන් වියදම් කිරීමයි.

නිදහස ලබා වසර දෙකක් ගත වන විටම මේ විදේශ සංචිත සිඳී යන්නට විය.

ලංකාව විදේශ විනිමය මූලික වශයෙන්ම උපයා ගත්තේ අපනයන වෙළෙඳාමෙනි.

එහිදී ප්‍රධාන අපනයනයන් මෙන්ම ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයන් වූයේ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් තේ, රබර් සහ පොල්ය.

එයින් ලැබෙන විදේශ විනිමය ආදායම රටට අවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බැවින් ආණ්ඩුව කළේ විදේශ සංචිත වියදම් කිරීමයි.

1950 පමණ වනවිට එතෙක් ඉතුරු කරගෙන තිබූ විදේශ සංචිත සිඳී යන්නට විය.

මේ අවස්ථාවේ නැවතත් ලංකාවේ පිහිටට ආවේ ජාත්‍යන්තර දේශපාලනයේ තවත් චලනයකි.

ඒ කොරියාව උතුරු සහ දකුණු වශයෙන් දෙකට බෙදී සිදු වූ කොරියානු යුද්ධයයි.

1950 සිට 1953 දක්වා පැවැති කොරියානු යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රබර් සඳහා වන ඉල්ලුම ඉහළ ගිය අතර ලංකාවේ රබර් අපනයනයන්ට හොඳ කලක් ලැබුණේය.

එහෙත් 1953 පමණ වන විට කොරියානු යුද්ධය අවසන් වන තත්ත්වයට පත්වීමත් සමඟම රබර් අපනයනය නිසා ඇති වූ තාවකාලික උත්පාතය අවසන් විය.

තේ, රබර් සහ පොල් අපනයනය මත රඳා පැවතුණු ලංකාවට අපනයන ආදායම අඩුවීම මරු පහරක් විය.

ඒ කාලයේ කර්මාන්ත අංශයක් නොතිබුණු අතර අද මෙන් සේවාවන් මත පදනම් වූ ආර්ථික පදනමක් ද නොවීය.

රබර් මිල බලා සිටිද්දී පහළ වැටුණු අතර ඉතිහාසයේ අවම මට්ටම කරා ළඟා විය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගෙවුම් ශේෂය හෙවත් රටෙන් පිටතට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය සහ රට තුළට ඇදී එන විදේශ විනිමය ප්‍රමාණය අතර පරතරය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ ගැටලු රාශියක් ඇති විය.

විවිධාංගීකරණය නොවූ ආර්ථිකයෙහි ඇති වූ මෙම අර්බුදය රටේ පළාත් ගණනාවක ජන ජීවිතයට තදින්ම බලපෑවේය.

එම පළාත්වල ජනතාවගෙන් අඩකට වඩා පිරිසක් කිසියම් ආකාරයකින් රබර් කර්මාන්තයෙන් ජීවිතය ගැටගසා ගත් පිරිසක් වීම එයට හේතුවයි.

මේ තත්ත්වය යටතේ ඉමහත් දුෂ්කරතාවකට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහයට පැමිණියේ චීන මහජන සමූහාණ්ඩුවයි.

චීනය ලංකාව සමඟ රබර්-සහල් ගිවිසුමක් අත්සන් කරන්නට එකඟ වීම වනාහි ගිලෙන්නට යන මිනිහාට පිදුරු ගසක් ලැබුණාක් මෙන් විය.

ඒ කාලයේ ලාංකිකයන් ලක්ෂ්මී බායි ගායනා කළ ආකාරයට ‛කන්ට අඳින්ටා පිටරටින් එනතුරු මූදට දත නියවමින්’ සිටි නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ආනයනය කෙරුණේ පිටරටිනි.

චීනය යෝජනා කළේ ලංකාවේ රබර් සියල්ලම ඔවුන් විසින් ලබා ගෙන ඒ හිලව්වට ලංකාවට චීනයෙන් සහල් ලබා දීමටය.

චීනය සමඟ එකතු වී රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීමට අවස්ථාව ලැබීම අවස්ථාවේ හැටියට විශාල සහනයක් වුවත් එහි අයහපත් ප්‍රතිවිපාකද විය.

උපායමාර්ගික වශයෙන් වැදගත් අයිතමයක් ලෙස ලැයිස්තුගත කොට තිබූ රබර්, කොමියුනිස්ට් රටක් වූ චීනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය බලවත් සේ නොසතුටට පත්විය.

එහි ප්‍රතිඵලය වූයේ ලංකාවට ඇමරිකාවෙන් ලබා දෙනු ලබන සියලු ආර්ථික, තාක්ෂණික සහ වෙනත් ආධාර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කිරීමයි.

එම පියවර ලංකාවට දරා ගැනීමට නොහැකි විය.

ඇමරිකාව අමනාප කරගනිමින් කොමියුනිස්ට් චීනය සමඟ රබර්-සහල් ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ආණ්ඩුව තුළද බෙදීමක් ඇතිවිය.

කැබිනට් මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ඡේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම ගිවිසුමට තදින්ම විරුද්ධ විය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හොරණෑව වශයෙන් කටයුතු කළ ලේක් හවුස් ආයතනය තම පුවත්පත් මගින් චීන-ලංකා ‛රබර්-සහල් ගිවිසුමට’ විරුද්ධව මහත් උද්ඝෝෂණයක් ගෙන ගියේය.

ලංකාවේ ආර්ථිකය අද මෙන්ම එදාද ජාත්‍යන්තර වෙනස්කම් මත අතිශයින්ම රඳා පැවතියේය.

ගෙවුම් ශේෂ හිඟය හේතුවෙන් අය-වැය සමබර කර ගැනීම අතිශයින්ම අපහසු විය.

අද රට සහලින් ස්වයංපෝෂණය කිරීම සඳහා ගොවියාට පොහොර මිටියක් රුපියල් 350 කට ලබා දීම පිණිස විශාල සහනාධාරයක් ලබා දෙමින් ‛පොහොර ඡන්ද’ ටික තමන්ට ලබා ගැනීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන්නා සේ එදා ආණ්ඩුව සහල් සහනාධාරය සඳහා විශාල මුදලක් වියදම් කළේය.

මුදල් ඇමැති ඡේ.ආර්. ජයවර්ධන මහතා 1953 අය-වැය යෝජනා මගින් සහල් සඳහා වූ සහනාධාරය සහ අනෙකුත් සහනාධාරයන් ඉවත් කිරීමට කටයුතු කළේය.

මේ හේතුවෙන් එවකට සත විසි පහට තිබුණු සහල් සේරුවක මිල සත හැත්තෑ පහ දක්වා එසැණින් ඉහළ ගියේය.

මෙම පියවර මහත් අමානුෂික ක්‍රියාවක් වශයෙන් කිසි සැකයක් නැතිව ජනතාව අතර මහත් අප්‍රසාදයක් ඇති කරන්නට හේතුවිය.

මේ සමඟම පාසල් දරුවන්ට එතෙක් ආණ්ඩුව විසින් ලබා දුන් දිවා ආහාරයද නවත්වන්නට ඔහු කටයුතු කළේය.

දුප්පත් පවුල්වල දරුවන් සමහරවිට දවසේ ලබා ගන්නා එකම ආහාර වේල විය හැකිව තිබුණු දිවා ආහාර වේල අහිමි කිරීම රට තුළ මහත් අප්‍රසාදයක් ජනිත කළේය.

සහල් සහනාධාරය සහ පාසල් දරුවන්ගේ දිවා ආහාරය ඉවත් කිරීම නිසා මහජනයා තුළ ඇති වූ අතිමහත් විරෝධය කිසිදු සංවිධානාත්මක බවකින් තොරව දස අතින් මතුවන්නට විය.

විශේෂයෙන්ම කාන්තාවන් පාරට බැස උද්ඝෝෂණය කළ අතර ගම් සභා සහ නගර සභා නියෝජිතයන්ගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද නිවෙස්වලට ගොස් උද්ඝෝෂණය කරන මට්ටමට තත්ත්වය වර්ධනය විය.

මෙහිදී මුදල් ඇමැති ඡේ.ආර්. ජයවර්ධන මහතා තම ක්‍රියාව සාධාරණීයකරණය කරන ලද්දේ තමන්ට සහනාධාර කැපීමට සිදුවූයේ ලෝක බැංකුවේ බල කිරීම නිසා බවයි.

1953 වර්ෂයේ මැද භාගය වන විට රටේ අයවැය කළමනාකරණය කිරීමට අපහසු තත්ත්වයකට පත්ව තිබිණි.

එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ලබා දී තිබූ සහන සහ ඇතැම් සුභසාධන ක්‍රියාමාර්ග අහෝසි කළේය.

සහල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා වෙඩි උණ්ඩයක වේගයෙන් ඉහළ නැගිණි.

මේ සමඟම පාසල් දරුවන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාර වේලද නවතා දැමිණි.

බොහෝ දරුවන් කිසිවක් ආහාරයට ගැනීමට නොමැති නිසාවෙන් උදෑසන කුසගින්නේම නිවසෙන් පිටව පාසලට යන්නේ පාසලෙන් ලබා දෙන දිවා ආහාරයෙන් සිය කුසගින්න නිවා ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.

සහල් සහනාධාරය සහ පාසල් දරුවන්ට දුන් දිවා ආහාරය අහෝසි කිරීම මහජනතාවට දරා ගැනීමට අතිශයින්ම අපහසු වූ අතර මේ අයුක්තියට එරෙහිව ඔවුන් ක්ෂණිකව සහ තමන්ගේම ක්‍රමයකට විරෝධය පළ කළහ.

එම විරෝධතා සංවිධිත හා ඒකාබද්ධ ඒවා නොවූවත් ඉතා ඉක්මනින්ම අතිශය ප්‍රකෝපකාරී මට්ටමකට පැමිණියහ.

රජයේ නිලධාරීන්ට සහ විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රාදේශීය නියෝජිතයන්ට වැඩි වේලාවක් නොගොස්ම එකී විරෝධතා නොසලකා හැර සිටීමේ හැකියාව අහිමි විය.

මේ අතර මුදල් අමාත්‍යවරයා තම ක්‍රියාව සාධාරණීයකරණය කරමින් සහල් සහනාධාරය කපා හැරීම ලෝක බැංකුවේ නිර්දේශ මත ගත් තීරණයක් යැයි කියා සිටියේය.

ප්‍රකෝපකාරී, බලාපොරොත්තුවලින් තොර දුක්ඛිත පරිසරය මැදින් සුදු කොඩි එසැවෙන්නට වූ අතර මිනිස් පවුරු ඇතැම් කඩ වීදි අහුරමින් නැගී සිටින්නට විය.

විශාල ගස් කපා මං මාවත් හරස් කර තිබුණි.

මේ සියල්ල සිදු වූයේ හර්තාලය ආරම්භ වන්නට සති ගණනකට පෙර සිටය.

දෙමළ සහ සිංහල මහජන නියෝජිතයන් එක්ව රැස්වීම් පවත්වමින් සහල් සහනාධාරය කපා හැරීම පිළිබඳ සිය විරෝධය පළ කළහ.

දෙමළ සහ සිංහල ජනවර්ග දෙක ප්‍රථම වතාවට සිය ජනවාර්ගික විවිධත්වය පිළිබඳ ගැටලු පසෙක දමා එක්ව සිටිනු සහ පොදු අර්බුදයට විසඳුම් සොයා එක්ව සටන් කරන්නට සූදානම්ව සිටිනු දැකිය හැකි විය.

දකුණේ දේශපාලන නායකයන් ජනතාව හමුවීමට උතුරට යන අතරේ උතුරේ සිටි සෙසු නායකයන් දකුණ බලා පැමිණෙමින් සිටියෝය.

පැවති උණුසුම්කාරී වාතාවරණය තුළ 1953 ජූලි මාසයේදී විපක්ෂ කණ්ඩායම් විසින් ඒකාබද්ධ ජන හමුවක් කැඳවන ලදී.

කුසගින්න විසින් වාර්ගික විසමතාවන් යටපත් කළ බව මෙම රැස්වීමේදී ඉස්මතු වූයේ ප්‍රධාන කථිකයන් අතරට එස්.ජේ.වී. චෙල්වනායගම් සහ ආර්. රාමලිංගම් මහත්වරුන් ද අදහස් දැක්වීම තුළය.

ආණ්ඩුවට කළ හැකි එකම දෙය වූයේ රැස්වීමෙන් පසු නිවෙස් බලා යමින් සිටි ජනතාව අතරට පොලීසිය මුදා හැරීම පමණි.

මේ ක්‍රියාවෙන් පොළඹවනු ලැබූ ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවක් කැඳවූ අතර මහා පරිමාණ එක් දින වැඩ වර්ජනයක් දියත් කිරීමට මෙම හමුවේදී තීරණය කෙරිණ.

වැඩකරන පන්තිය පොදු පෙරමුණක් තුළට සංවිධානය වීම තුළ ජේ.ආර්. ජයවර්ධන අමාත්‍යවරයා කළේ නියමිත ලෙස සේවයට වාර්තා නොකරන සියලුම රජයේ සේවකයන්ට රැකියාව අහිමි වනු ඇතැයි යන රතු එළිය නිකුත් කිරීමය.

එහෙත් එයින් ප්‍රශ්නය නිරාකරණය නොවුණු අතර සිදු වූයේ ඒ වනවිටත් ඇවිළෙමින් තිබූ ගින්නට තවත් පිදුරු වැටීම පමණි.

ඒකාබද්ධ වැඩ වර්ජනයක් පිළිබඳ අදහස රටේ ඈත පළාත්වල පවා වාසය කළ, ආණ්ඩුවේ අත්තනෝමතික තීරණ නිසා අතිශයින් පීඩාවට පත්ව සිටි, කම්කරු කොටස් පවා සටනට එක් කරන සුළු විය.

එවැන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන කවර හෝ විරෝධතාවක් ශේක්ෂ්පියර්ගේ හැම්ලට් නාට්‍යය හැම්ලට් කුමාරයාගේ චරිතය නොමැතිව වේදිකා ගත කළ කලෙක මෙන් අසම්පූර්ණ එකක් වනු ඇත.

යුද සමයේදී පැවති ගාන්ධි ව්‍යාපාරය වැනි ප්‍රශ්නවලින් පළා යන ක්‍රියාවලියක් මෙහිලා නොගැලපෙන බව කියා සිටි ලංකා සමසමාජ පක්ෂ නායකයන් හර්තාලය වැනි දැනෙන සුළු ව්‍යාපාරයක අවශ්‍යතාව අවධාරණය කළහ.

ඒ අනුව අගෝස්තු මස 12 වෙනිදා හර්තාල ක්‍රිියාව අනුගමනය කිරීමට තීරණය විය.

‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ එය සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය තුළ ඇති නොනගත කාල සීමාව අනුගමනය කිරීමට සමාන විය යුතු බවය.

එනම් එය සියලු වැඩ අත්හැර නිවෙස්වලට වී කාලය ගත කිරීමක් විය යුතු බවය.

පැහැදිලිවම පෙනුණු පරිදි එය පැවති ඉතාමත්ම සන්සුන් සහ ප්‍රචණ්ඩකාරී නොවන විරෝධය දැක්වීමේ ක්‍රමය විය.

ඒ අතර මේ තීරණය බණ්ඩාරනායක හා චෙල්වනායගම් තුළ වූ වංචාකාරී ස්වභාවය එළියට දැමීය.

හර්තාලයට සහභාගී වීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවෙන් නිදහසට කාරණය ලෙස ඔවුන් ප්‍රකාශ කළේ ඇතිවිය හැකි ප්‍රචණ්ඩකාරී වාතාවරණයට දායක වීමට තමන් අකැමති බවයි.

එහෙත් සැබෑ කාරණය ඔවුන් මහත්මා ගාන්ධිටත් වඩා අවිහිංසාවාදී වීමද? එසේ නැතහොත් සැබෑ හේතුව ඔවුන් ඒ වන විට ප්‍රබල ලෙස නැග එමින් සිටි වාමාංශික පක්ෂවල ජනප්‍රියතාව පිළිබඳ බියට පත් වීම විය නොහැකිද?

කෙසේ නමුත් එකඟ වූ නොනගත සමය එළැඹි කල්හි නොනගතය අනුගමනය කරන්නන් එය පාලනය කරන්නන්ගේ පාලනයෙන් ගිලිහී ගියේය.

හර්තාලය ඉන් පෙර පැවති විරෝධතාවලටත් වඩා ප්‍රචණ්ඩකාරී විරෝධතාවයක් බවට පත් විය.

නිශ්චිත නොනගත සමයක් බවට පත් වෙනවා වෙනුවට එය කලින් එකඟ වූ කාල සීමාවද පසුකර දිගින් දිගටම ඇදී යන්නට වූයේ තිරිංග ක්‍රියා විරහිත වූ මෝටර් රථයක් මෙනි.

බලාපොරොත්තු නොවුණු මේ තත්ත්වයට ප්‍රධානතම හේතුව වූයේ පොලීසිය ක්‍රියා කළ ප්‍රකෝපකාරී ආකාරයයි. පොලීසිය විසින් සිදු කළ සෑම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකටම පසු එයට පිළිතුරක් දෙන්නාක් මෙන් මහජනතාව විසින් තවත් තැනක වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කළහ.

කොළඹදී සිදුවූ පොලිස් වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 8 දෙනෙකු මරණයට පත් විණි.

මේ සම්බන්ධයෙන් පතුරවන ලද කතාව වූයේ එය රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සඳහා එක්තරා දේශපාලන පක්ෂයකින් කරන ලද කුමන්ත්‍රණයක කොටසක් ලෙසය.

හාමතේ මියැදෙමින් සිටි මේ මිනිසුන් සන්සුන් ප්‍රතිචාර දැක්වීමට පෙළැඹවීම ඥානවන්ත නොවන්නේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.

කෙසේ වුවත් එවැනි සන්සුන් ප්‍රතිචාර වෙනුවට සිදු වූයේ ආණ්ඩුව බරපතළ කම්පනයකට මැදි කරමින්, මේ වනවිටත් මග වෙනස්ව තිබූ හර්තාල ක්‍රියාවලිය සිය අත්‍යන්ත ශක්තිය තුළින් වේගයෙන් ඉදිරියට යාමය.

අවසානයේදී එන්.එම්. පෙරේරා, පීටර් කෙනමන් සහ පිලිප් ගුණවර්ධන මහත්වරුන් සිය වගකීම ඉටු කරමින් ජනතාව ඇමතූහ.

ඔවුන් සිය පණිවුඩයෙන් මහජනතාවට සිය සතුට පළ කළ අතර හර්තාලය සිය අරමුණ මුදුන් පත් කර ගෙන ඇතැයි ප්‍රකාශ කළහ.

මේ පණිවිඩය හරහා ගම්‍ය කළ යටි අදහස වූයේ හර්තාලය අවසන්ව ඇත යන්නයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැමීම ආදී හර්තාලයේ ක්ෂණික ප්‍රතිඵලවලට අමතරව එය විසින් ග්‍රාමීය හා නාගරික ජනතාව තුළ දේශපාලන හා සමාජ අවබෝධය ඉහළ දැමූහ.

ආණ්ඩුව විසින් යමක් ක්‍රියාත්මක කරන මට්ටමට ගෙන ඒම, ආණ්ඩුවේ තීරණයක් වෙනස් කිරීම මතු නොව ආණ්ඩුවක් මුළුමනින්ම වෙනස් කිරීම පවා එකට එක්වූ ජන ව්‍යාපාරයකට කළ හැකි බව ජනතාව අත්දැකීමෙන්ම අවබෝධ කර ගත්හ.

ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සහ ජේ.ආර්. ජයවර්ධන මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් පහ කිරීම තමන්ට කළ හැක්කේ කුමක්ද යන්න ජනතාවටම අවබෝධ කරවූහ.

ඒ අවබෝධය, ඒ විඥානය අවසානයේ 1956 ආණ්ඩු පෙරැළිය දක්වාම විහිදුණි.

දෛවයේ සරදමකට මෙන් එදා හර්තාලයට සහය දැක්වීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයාම (එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා – සංස්කාරිකා) වසර 3කට පසු හර්තාලයේ ඉහළම ප්‍රතිඵලය අත්පත් කර ගත්තේය.

සමහර විට, බොහෝ දෙනා දන්නා, මේ රටේ ඉරණම තීරණය කළා වූ කරුණක් ඔබේ අවධානයට යළිත් ගෙන ඒමට මෙය සුදුසුම අවස්ථාව යැයි හැඟේ.

1956 මැතිවරණ ක්‍රියාවලියේදී භික්ෂු බලමණ්ඩලය දස පනත නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කෙටුම්පත් කරන ලදී.

මේ කෙටුම්පත මුලින්ම ගෙන ආවේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා වෙතය.

ඔහු තෝරා ගැනීමට හේතුව වූයේ පැවති එක්සත් ජාතික පක්ෂ රජයට අභියෝග කළ හැක්කේ කාටද යන්න සහ කුමන දේශපාලන පක්ෂයකට එවැනි දේශපාලන මෙහෙයුමක් භාර දිය යුතුද යන්න 1953 හර්තාලය විසින් මැනවින් පෙන්වා දී තිබීමයි.

තමන් ඉදිරිපත් කළ දස පනත පිළිගන්නේ නම් නුදුරේදී පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් නියත ජයග්‍රහණයක් තහවුරු කර දෙන බව භික්ෂු නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

කෙටුම්පත මැනවින් කියවූ එන්.එම්. පෙරේරා මහතා ප්‍රකාශ කළේ එම කෙටුම්පත තමන්ට පිළිගත හැක්කේ ‛සිංහල පමණක්’ යන වචන ඛණ්ඩය ඉන් ඉවත් කරන්නේ නම් පමණක් බවයි.

භික්ෂු නියෝජිතයන් තම තීරණය යළිත් සලකා බලන්නැයි එන්.එම්. පෙරේරා මහතාගෙන් ඉල්ලා සිටි අතර පසු දිනයේ ඔහු හමුවීමට නැවතත් පැමිණෙන බව ද ඔවුහු කියා සිටියෝය.

පසු දින නැවත හමුවේදී ද ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා කියා සිටියේ තම තීරණය අවසන් තීරණය බවත් එය යළිත් සලකා බැලීමේ අවශ්‍යතාවක් නැති බවත්ය.

භික්ෂු නියෝජිත කණ්ඩායම එන්.එම්. පෙරේරා මහතාගේ මේ තීරණයෙන් පසු සිය පනත් කෙටුම්පත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හමුවේ ඉදිරිපත් කළහ.

ඇසි පිය හෙළන පමාවෙන් ඔහු දස පනත කෙටුම්පත පිළිගත්තේය.

එතැන් පසු සිදු වූ දේ ඉතිහාසයේ සටහන් වී ඇත.

උපුටා ගැනීම - samabima


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now


Gallery Gallery Gallery Gallery Gallery Gallery