අහිංසක මල් කැකුළකට දිවි අහිමි කළ, පාසල් බැම්ම කඩාවැටුණු හැටි හෙළිවෙයි..
අද (15) වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ පුංචි දැරියකට අවාසනාවන්ත ලෙස දිවි අහිමි විය. තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය.
මෙම හද කම්පා කරන අනතුරින් මියගියේ සෙහන්සා නෙත්මි නම් දැරියක් වන අතර ඇයගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ අද දිනටය.
මෙහිදී වෙහෙරගොඩ විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ පන්ති කාමරය ඉදිරිපිට පිහිටි ජල කරාම පෙළ වෙත සිසු සිසුවියන් පිරිසක් ගොස් තිබුණේ අත් සේදීම සඳහාය.අත් සෝදමින් සිටි සිසු සිසුවියන් 6 දෙනෙකු අනතුරට ලක්කරමින් නොසිතූ ලෙස එක්වරම එම ඉදිකිරීම කඩා වැටී තිබුණි.
එහිදී, මෙම වෙන්වී ගොස් ඇති කොන්ක්‍රීට් කොටස තුළ සිසුවියන් දෙදෙනෙක් සිරවී තවත් සිසු සිසුවියන් සිව් දෙනෙකුටද තුවාල සිදුවුණි. කොන්ක්‍රීට් කොටස තුළ සිරවූ සිසුවියන් දෙදෙනා බේරාගැනීමට ගුරුවරු, පාසලට පැමිණ සිටි මව්පියන් මෙන්ම අනතුර සැලවූ අසල්වාසීන් ඇතුළු පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.
තුවාල ලැබූ සිසු සිසුවියන් 6 දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු හා සිසුන් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට කඩිනමින් ඇතුළත් කෙරුණි. කොන්ක්‍රීට් කොටස තුළ සිරවී බරපතළ තුවාල ලබා සිටි සිසුවිය රෝහල්ගත කරනවිටත් මෙලොව හැරගොස් තිබූ බව වාර්තා විය.
අනතුර සිදුවූ ස්ථානයේ අලුත්කඩේ අංක 4 වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත හේරත් මහතා විසින් ස්ථානීය අපරාධ පරීක්ෂණයක් සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණි.
එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙතද පැමිණි සිටියේය. අනතුරට හේතුව, ජල කරාම සවිකර ඇති ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් ගොඩනංවා නොතිබීම බවට මව්පියන් හා අසල්වාසීන් චෝදනා කරයි.
එම ඉදිකිරීම පොළවට නිසි පරිදි සම්බන්ධ කර නොමැති බව දර්ශනවලින්ද මනාව දැකගත හැකිය.
