අද බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි බලාපොරොත්තු වේ. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇති විය හැකිය.
මීට අමතරව මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයන් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.