අද පාකිස්ථාන-නවසීලන්ත T20 තරගය සම්බන්ද පොලිසියෙන් නිවේදනයක්
අද ( 21) 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ සුපිරි 8 අදියර තුළ පැවැත්වෙන පාකිස්ථානය සහ නවසීලන්තයඅතර තරගය සමඟාමීව කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ රාත්‍රී 7.00ට ආරම්භ වන අතර, එම ස්ථානයට ඇතුළු වන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට හා විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
පොලිසිය විසින් නිකුත් කළ රථවාහන සීමාවන් බලපාන ප්‍රධාන මාර්ග පහත පරිදි වේ:
1. සංඝරාජ මාවත සහ සුමනදිසි මාවත
2. වින්සන් පෙරේරා මාවත
3. බ්‍රිටෝ බාබා පුල්ලේ ප්‍රදේශය, පන්සල පාර, ඛෙත්තාරාම පාර
4. සෙබස්තියන් ඇල පාර
5. අඩි සියේ මාර්ගය (අඩි 100 පාර)
6. ශ්‍රී බෝධිරාජ මාවත
7. මාලිගාවත්ත පටුමග සහ ජුම්මා මස්ජිද් පාර
8. ප්‍රදීපා මාවත සහ සද්ධර්ම මාවත
මෙම මාර්ග හරහා තරගයට ඇතුළු වීමට බලයලත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිපත්‍ර සහිත වාහනවලට පමණක් අවසර ලැබෙන බවත්, සාමාන්‍ය රථ ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලිසිය උපදෙස් දී ඇත.
කොළඹ තරග දිනවලදී මෙවැනි විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, තරගය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් සඳහා නියමිත නැවතුම්පොළවල් සකස් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
ප්‍රේක්ෂකයින්ට තරගයට පැමිණීමේදී මෙම සීමාවන් සැලකිල්ලට ගෙන කල්තියා පිටත් වන ලෙසත්, පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලා සිටියි.