හිටපු නාවික හමුදාපති නිදහස් කර යැවීම ගැන නීතිපතිට අල්ලස් චෝදනා

By Wasantha Aug 12, 2021 06:21 AM GMT
Report

පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවෙන් නාවික හමුදාවේ හිටපු ප්‍රධානියෙක් නිදහස් කිරීමට අල්ලස් ලබා ගෙන ඇති බවට මානව හිමිකම් සංවිධානයක් නීතිපතිට චෝදනා කර තිබෙනවා.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මේ ගැන පැමිණිල්ලක් අල්ලස් හා දුෂණ කොමිසමේ සභාපති වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පැමිණිල්ලේ දී ඔහු පෙන්වා දෙන්නේ නඩු විභාගයක් අවසන්වීමට පෙර හදිස්සියේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධි චෝදනා ඉවත් කිරීමට නීතිපති කටයුතු කිරීම කිසියම් වරප්‍රසාදයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් බවට සැක මතුවන බවයි.

යුද්ධය උත්සන්නව පැවති 2008 -2009 වකවානුවේ කොළඹ පදිංචි පුද්ගලයන් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු චුදිතයන් 14 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාගයක් පවතිනවා.

එසේ තිබියදී ඉකුත් 4 වැනිදා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා දන්නවා සිටියේ විත්තිකාර හිටපු නාවික හමුදාපතිට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය ඉවත් කර ගන්නා බවයි.

''නීතිපති හා නඩුව මෙහෙයවූ රජයේ නීතිඥයා විසින් විත්තිකරුගේ, විත්තියේ නීතිඥයාගේ හෝ කිසියම් දේශපාලන බලාධිකාරියක අයුතු විෂමාචාරි බලපෑමකට හෝ වරප්‍රසාදයකට විත්තිකාර කරන්නාගොඩ මතාගේ චෝදනා ඉවත් කර ගැනීමේ නීති විරෝධී උත්සහයක නිරත බව'' අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව චෝදනා කර සිටිනවා.

දහ තුන් වසරක් පුරා සිය සමීපතමයන්ට යුක්තිය අපේක්ෂාවෙන් සිටි වින්දිත මාපියන්හට අයුක්තියක් කිරීම සඳහා විත්තිකරු වෙනුවෙන් චෝදනා ඉවත් කරගෙන ඇති බැවින් එය අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත අනුව සාපරාධී වරදක් බව පෙන්වා දෙන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව අල්ලස් කොමසාරිස් ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන වහා විමර්ශනයක් කර නීතිමය පියවර ගනිමින් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙසයි.

යුද්ධය උත්සන්නව පැවති 2008-2009 වසර වල කොළඹ පදිංචි තම දරුවන් සහ ස්වාමි පුරුෂයන් ඇතුළු පිරිමින් 11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම් ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රටේ ඉහලම නාවික හමුදා සෙන්පතියාට එරෙහිව වසර 13 ක් පුරා විමර්ශනය කොට ගොනු කළ අධි චෝදනා පත්‍රය ඉවත් කර නොගන්නා ලෙසටයි එම පිරිසගේ දෙමාපියෝ නීතිපති ගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

‘’වසර 13 ක විමර්ශනයකින් පසු අගවිනිසුරුගේ නියමයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් නියම කොට චෝදනා විභාග වෙමින් තිබියදී මෙසේ කඩිනමින් විත්තිකරුවන්ගේ චෝදනා ඉවත් කර ගැනීම මගින් වින්දිතයන් ලෙස තමන් අගතියට පත් වන බැවින් එය අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියාවක්’’ බව පැහැර ගෙන ගොස් අතුරුදන් කෙරුණු තරුණයන් ඇතුළු 11 දෙනාගේ දෙමාපියන් විසින් නීතිපති සංජය ජෙයරත්නම් වෙත පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටි බවද මෙහි සඳහන්.

චෝදනා 667 ක් සාක්ෂිකරුවන් 126 ක් සහ නඩු ලේඛන 64 ක් ඇතිව අධි චෝදනා ගොනු කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහතාට එරෙහිව පවරා තිබෙන අදාළ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා, කොළඹ මහාධිකරණයට පසුගිය 4දා දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නිතිඥ ජනක බණ්ඩාර මහතා එලෙස දන්වා සිටියේ එම නඩුව චම්පා ජානකී රාජරත්න මහත්මිය, අමල් රණරාජා මහතා සහ නවරත්න මාරසිංහ මහතා යන විනිසුරු මඩුල්ලකගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැදවු අවස්ථාවේදීය.

කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, ඇන්ටනි කස්තුරි ආරච්චි, රාජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, කනකරාජා ජේගන් සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙනවා.

අදාළ පරීක්ෂණ වලදී හෙළිවුයේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක් කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිඩ් කඳවුරේදී මරා දමා ඇති බවයි.

වරක් හිටපු නාවික හමුදාපතිව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වන විට, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් කට්ටුවක් විසින් එය වැළැක්වීමට ක්‍රියා කළේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද්මිරාල් කරන්නාගොඩ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි.

අදාළ පෙත්සම විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු විට පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රොමේෂ් ද සිල්වා දැඩිව පවසා සිටියේ, පසුගිය යුද සමයේ නාවික හමුදාපති ධූරය දැරූ සිය සේවාදායකයා, යුද ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දැරූ අයකු බවයි.

සිය සේවාදායකයා වැනි අයට අවශ්‍ය නම් යමකු පැහැරගෙන යන්නට හෝ ඝාතනය කර සඟවන්නට යුද සමයේ හැකියාවක් තිබු බව ද, රණවිරුවන් වන ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ප්‍රශ්න කරන්නට ඒ දිනවල කිසිවකුත් නොසිටි සේම අදටත් එසේ කරන්නට කිසිවකුටත් හැකියාවක් නොවන බව ද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අවධාරණය කළ ජනාධිපති නීතිඥයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ, මෙවැනි "රණවිරුවකු" අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම "ජාතියට එරෙහිව කරන අපරාධයක්" ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තරයේ සැළකිය යුතුව ඇති බවයි .

පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාගේ නීතිඥයාට ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණු, කිසිදු විරෝධතා දැක්වීමකින් තොරව ඉදිරිපත් කරන්නට අවසර ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල, හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් වාරණ නියෝගයක් පනවා එය අවසන් නියෝගය බවට ප්‍රකාශයට පත්කොට ඇත. ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය හමුවේ පවසා තිබුනේ පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඔහුගේ පෙත්සමෙනුත්, ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කරුණුත් තමන් විසින් පිළිගන්නා බවයි.

පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව යහපාලන ආණ්ඩු කාලේ සිදු වූ යැයි කියන දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට ගිය හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එවකට නාවික හමුදාපති ලෙස කඩිමුඩියේ නිදේශ ලබා ගත්තේ මහාධිකරණ නඩු විභාගයෙන් ගැළවීම ට බවයි පැහැර ගෙන ගොස් අතුරුදන් කර ඇති 11 දෙනාගේ දෙමාපියෝ පවසන්නේ.

සිය දරුවන් පැහැර ගෙන ගොස් මරා දැමීමට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන එය යටපත් කිරීමට හිටපු හමුදාපති කරන්නාගොඩ තැත් කළ බව ඔව්හු සිය ලිපියේ වැඩි දුරටත් සඳහන් කොට තිබෙනවා.

විත්තිකාර වසන්ත කරන්නාගොඩ විසින් නීතිපති දෙපාර්තමේන්තුව ගොනු කළ මෙම අධිචෝදනා පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර නියෝගයක් ලබා ගෙන ඇත්තේ ඔහුගේ අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ඔහුට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසටයි.

විත්තිකරුගේ එම අභියාචනා පෙත්සම ලබන 30 වනදා යළි කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම් දෙන බව, රජයේ නීතිඥවරයා ජනක බණ්ඩාර අධිකරණයට දන්වා තිබෙනවා .