පූසන්ට ආදරේ අයගේ හද කම්පා කරන පුවතක් - මරන්න නියම වුණු බළලුන් 400 ක් - බේරා ගත්තත් සිය ගාණක් මැරිලා
වියට්නාම පොලිසිය මඟින් පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට නියමිතව සිටි බළලුන් 400 කට වැඩි ප්‍රමාණයක් බේරා ගෙන ඇති බව වාර්තා වේ.
එසේම දුසිම් ගණනක් ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ නැවත එක් කර ඇති අතර සතුන් 100 ක් පමණ පසුව විවිධ දුෂ්කරතා හේතුවෙන් මිය ගොස් ඇත.
ඉකුත් වසර තුනක් පුරා රටේ දකුණු ප්‍රදේශය පුරා බළලුන් සොරකම් කළ බවට චෝදනා එල්ල වූ අපරාධ ජාලයක් වියට්නාම පොලිසිය මඟින් මෙසේ බිඳ දමා ඇති අතර, එම සතුන් ඝාතනය කිරීමට සහ මස් ලෙස විකිණීමට නියමිතව තිබූ බව සඳහන්.
මේ අතර හෝ චි මිං නගර පොලිසියේ නිල පුවත්පතට අනුව, බලධාරීන් "බළලුන් සොරකම් කිරීම සහ එකතු කිරීම පිළිබඳ විශේෂඥයින්" වශයෙන් පැවසූ කණ්ඩායමකට සම්බන්ධ බවට සැකපිට සැකකරුවන් නව දෙනෙකු ඉකුත් සතියේ රඳවා ගෙන තිබෙනවා.
එමෙන්ම ඒ වන විටත් මිය ගොස් අයිස් මත ගබඩා කර තිබූ සතුන් 80 ක් සමඟ සජීවී සතුන් 400 කට වැඩි ප්‍රමාණයක් සහ වෙනම ස්ථානයකින් අල්ලා ගත් තවත් බළලුන් 21 ක් ද නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
මෙම මෙහෙයුම හෝ චි මිං නගරයේ සුරතල් සතුන් සොරකම් වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් දියත් කර තිබෙනවා.
එසේම දකුණු වියට්නාමය පුරා විවිධ ස්ථානවල බළලුන් ආකර්ෂණය කර උගුලට හසු කර ගත් බවට සැකකරුවන් පිළිගත් බවට තොරතුරු සඳහන්.
කෙසේ වෙතත් වියට්නාම නීතිය යටතේ බළලුන් සහ බල්ලන් පරිභෝජනයට අවසර දී ඇතත්, වෙළඳුන් සතුන්ගේ සම්භවය සනාථ කරන සහතික තබා ගැනීම නීත්‍යානුකූලව අවැසි වේ. එහෙත් චෝදනා එල්ල වන ව්‍යාපාරයේ එවැනි ලියකියවිලි තිබේද යන්න තවමත් නොපැහැදිලි මට්ටමක පවතී.
මේ අතර "බොහෝ සතුන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වූ තීරණාත්මක ක්‍රියාමාර්ගය" සඳහා පොලිසියට ප්‍රශංසා කරමින්, අඟහරුවාදා වන විට සොයා ගන්නා ලද බළලුන්ගෙන් අවම වශයෙන් 40 දෙනෙකු ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ යළි එක්වී ඇති බව ජාත්‍යන්තර සත්ව සුභසාධන සංවිධානයක් වන Humane World for Animals තහවුරු කර ඇත.
එහෙත් ඔවුන් සඳහන් කර ඇත්තේ බේරාගත් අයගෙන් 100 ක් පමණ ඔවුන්ගේ දුෂ්කරතා හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
එම කණ්ඩායම සඳහන් කර ඇත්තේ නඩු විභාගය අතරතුර සාක්ෂි වශයෙන් තවමත් පොලිස් ස්ථානයේ රඳවා සිටින සතුන්ගේ සුභසාධනය තම ක්ෂණික ප්‍රමුඛතාවය බවයි. එමෙන්ම එහි කරන්වීර් කුක්රේජා නම් අයෙක් පවසා ඇත්තේ,
"සොරකම් කරන ලද බළලුන් ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් කිරීමට උත්සාහයන් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, නඩු පැවරීම අතරතුර සාක්ෂි ලෙස පොලිස් ස්ථානයේ රැඳී සිටින බළලුන් පිළිබඳව අපගේ ප්‍රධාන සැලකිල්ල යොමු වී තිබේ," යනුවෙන්.
එම සංවිධානය මඟින් තවදුරටත් සහය දෙමින් සතුන් සඳහා ආහාර සපයා ඇති බවත්, අත්අඩංගුවේ පසුවන විට ඔවුන් අධික ලෙස රත් වීම වැළැක්වීම සඳහා විදුලි පංකා බෙදා හැරීමට කටයුතු කරන බවත් පවසා ඇත.