කොළඹ දරුවන්ගෙන් 15%ක් අනතුරේ - විශේෂ හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ ළමා තරබාරුකම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් පළ කරමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන මහතා සඳහන් කරන්නේ, නාගරික ප්‍රදේශවල පාසල් යන වයසේ දරුවන්ගෙන් 10% සිට 15% දක්වා පිරිසක් අධික බර හෝ තරබාරු බවින් පෙළෙන බවයි.
පුවත්පතකට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ළමා තරබාරුකම දැන් ගෝලීය වශයෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති අතර, එහි ස්ථාවර වැඩිවීමක් දක්නට ලැබෙන බවය.
රට මේ වනවිට 'මන්දපෝෂණයේ ද්විත්ව බරක්' අත්විඳින බවත්, එක් පැත්තකින් මන්දපෝෂණය පවතින අතර අනෙක් පැත්තෙන් විශේෂයෙන් කොළඹ වැනි නාගරික ප්‍රදේශවල තරබාරුකම ඉහළ යමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
ළමා තරබාරුකම වයස සහ ලිංගභේදයට අනුව සකස් කරන ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මඟින් මනින අතර, 95 වන ප්‍රතිශතයට වඩා ඉහළ අගයන් තරබාරුකම ලෙස සැලකෙන බවද වෛද්‍යවරයා පැහැදිලි කළේය. එම තත්ත්වය කලින් හඳුනාගැනීම සඳහා නිතිපතා සෞඛ්‍ය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය බහු අවයව පද්ධතිවලට බලපාන බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරන බවද ඔහු අනතුරු ඇඟවීය. ඒ අතර අධි රුධිර පීඩනය, අසාමාන්‍ය කොලෙස්ටරෝල් මට්ටම්, ඉන්සියුලින් ප්‍රතිරෝධය, දෙවන වර්ගයේ දියවැඩියාව, මේද අක්මා රෝග, නින්දේ හුස්ම හිරවීම වැනි ශ්වසන ගැටලු, විකලාංග සංකූලතා, සමේ රෝග මෙන්ම මානසික පීඩනය, කාංසාව සහ අඩු ආත්ම විශ්වාසය වැනි මනෝසමාජීය ගැටලුද ඇතුළත් වේ.
“තරබාරු දරුවන් වැඩිහිටි වියටත් තරබාරු ලෙස පිවිසීමේ ඉඩකඩ ඉහළයි. එය හෘද රෝග, වකුගඩු රෝග සහ ඇතැම් පිළිකා වැනි රෝග අවදානම ඉහළ නංවයි” යැයි ඔහු සඳහන් කළේය.
වෛද්‍ය විජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ, සැකසූ ආහාර හා සීනි සහිත පාන වර්ග වැඩිවශයෙන් භාවිතය, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, අධික තිර කාලය, නින්දේ අක්‍රමවත් රටා සහ නාගරීකරණයත් සමඟ ඇති වන ජීවන රටා වෙනස්වීම් මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වන බවයි. ජානමය සාධකද බලපාන නමුත් ඒවා බොහෝවිට ජීවන රටාව සමඟ සම්බන්ධව ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අංශ, පාසල්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ පවුල් එක්ව සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය. ශක්තිමත් පාසල් ආහාර ප්‍රතිපත්ති, ආහාර වෙළඳ ප්‍රචාරණ නියාමනය සහ නාගරික සැලසුම් වැඩිදියුණු කිරීම වැනි ක්‍රියාමාර්ගද ඔහු යෝජනා කළේය.
“ළමා තරබාරුකම යනු බර පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, දිගුකාලීන රෝග සඳහා මඟ විවර කරන තත්ත්වයකි” යැයි වෛද්‍ය විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.