ගෑස් රැගත් තවත් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකරයි
දැඩි යුදමය නොසන්සුන්තාවක් පවතින හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ද්‍රවිකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) තොග රැගත් ඉන්දීය ධජය සහිත නෞකා දෙකක් ආරක්ෂිතව ගමන් කර තිබේ.
'Pine Gas' සහ 'Jag Vasant' යන මෙම නෞකා දෙක ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්දීය වෙරළට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.
නැව් ලුහුබැඳීමේ දත්තවලට අනුව, පර්සියානු ගල්ෆ් කලාපයෙන් සඳුදා උදෑසන ගමන් ආරම්භ කළ මෙම නෞකා යුගළ එකිනෙකට සමීපව ගමන් කරමින් මෙම මුහුදු තීරය පසු කර ඇත.
මෙහිදී ඉරාන බලධාරීන්ට තම අනන්‍යතාවය පැහැදිලිව තහවුරු කිරීම සඳහා නෞකා දෙකම ඉරානයේ ලාරක් (Larak) සහ කේෂ්ම් (Qeshm) දූපත් අතර මුහුදු තීරය තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
මේ පිළිබඳව පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ වරාය, නාවික සහ ජල මාර්ග අමාත්‍යාංශයේ විශේෂ ලේකම් රාජේෂ් කුමාර් සින්හා මහතා ප්‍රකාශ කළේ, මෙම නෞකා මගින් LPG ටොන් 92,612ක් රැගෙන එන බවයි.
"දැනට ගමනාගමනය ආරම්භ වී තිබෙනවා,"
යැයි පැවසූ ඔහු, මෙම නෞකා මාර්තු 26ත් 28ත් අතර කාලයේදී ඉන්දීය වරායන් වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
අමාත්‍යාංශ දත්තවලට අනුව 'Pine Gas' නෞකාවේ ඉන්දීය නාවිකයින් 33 දෙනෙකු සහ 'Jag Vasant' නෞකාවේ 27 දෙනෙකු සේවය කරති. කලාපීය ආරක්ෂක තත්ත්වය හමුවේ මෙම නෞකාවල ගමනාගමනය පිළිබඳව ඉන්දීය බලධාරීන් දැඩි අවධානයකින් පසුවෙයි.