අන්තර්ජාල මුදල් ගනුදෙනු පිටුපස සැඟවුණු මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිවෙයි – හෑෂ්, අයිස් හා හෙරොයින් සමඟ දෙදෙනෙක් කොටු

By Malith Madushan Jun 22, 2026 04:49 AM GMT
Report

අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම භාවිත කරමින් බැංකු ගිණුම්වලට මුදල් බැර කරවාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු, මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීගමුව කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 31 අතර පසුවන ගල්කිස්ස හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකදී ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.

වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 34ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 420ක් සහ හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 860ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 351,200ක මුදලක් සහ ජාවාරම සඳහා භාවිත කළ මෝටර් රථ දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.