අද දවසේ කාලගුණයේ වෙනසක් - මේ ප්රදේශවලට වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට සක්රිය ලෙස බලපෑම් කිරීම හේතුවෙන් මැයි මස 6 වනදා සිට දිවයිනේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෙට දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, පුත්තලම, ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්රික්කයේත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.