අමානුෂික ලෙස කාන්තාවක් ඝාතනය කළ පාසල් සිසුවා - ඇයගේ මුදල් සොරාගෙන ඇඟ හදාගන්න ගිහින්. (VIDEO)
මොරටුමුල්ල ඉඳිබැද්ද ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවකට පාසල් සිසුවෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ඉඳිබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තිලකා නලිනි ප්‍රනාන්දු නම් වයස අවුරුදු 84ක කාන්තාවක්.
පසුගිය 29 වනදා මෙම කාන්තාව ඝාතනය කර තිබුණේ,ඇගේම නිවසේදීයි.
ඝාතනයට අදාළ සිසුවා පොලිසියට පාපොච්චාරණය කර තිබුනේ,තමන් කළ මුදල් සොරකමක් ඇයට හසුවීම හේතුවෙන් පොල් උලකින් හිසට ඇන එම කාන්තාව ඝාතනය කළ බවයි.
පසුව 17 හැවිරිදි වියේ පසු වන මෙම පාසල් සිසුවා මොරටුමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ජාත්‍යන්තර පාසලක සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 27 වැනිදා එම සිසුවා අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇත්තේ, ඇගේ නිවසේ රූපවාහිනී වැඩසටහනක් නැවත බැලීමට සකස් කර දෙන්නැයි කළ ඉල්ලීමකට අනුවයි.
එම අවස්ථාවේ කාන්තාවගේ මුදල් පසුම්බියේ රුපියල් පන්දහසේ නෝට්ටු කීපයක් තිබෙනවා දුටු සිසුවා එම මුදල් සොරකම් කිරීමේ අරමුණින් ඊට පසුදින යළි එම නිවසට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී සිසුවා බීමට වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර වතුර වීදුරුවක් ගෙන ඒමට කාන්තාව මූළුතැන්ගෙට ගොස් තිබුණා.
එම අවස්ථාවේදී පාසල් සිසුවා කාමරයකට ඇතුල් වී මුදල් පසුම්බියෙන් 5000 නෝට්ටු කිහිපයක් සොරා ගෙන තිබූ අතර එය කාන්තාව විසින් දැක තිබෙනවා.
පසුව ඔහුගේ දෙමාපියන්ට මෙමෙ සොරකම සම්බන්ධයෙන් දැනුවත් කරන බව කාන්තාව පවසා ඇති අතර ඉන් කලබලයට පත් සිසුවා මුදල් රැගෙන පලා යාමට තැත් කර තිබෙනවා.
එහිදි කාන්තාව ඔහුව අල්ලාගෙන තිබූ අතර සිසුවා විසින් ඇයව තල්ලු කර ඉන් ගැලවීමට උත්සාහ කර තිබුණා.
එලෙස තල්ලූ කිරීමත් සමඟ බිත්තියක වැදීම හේතුවෙන් කාන්තාවගේ හිසින් ලේ ගැලීමක් සිදු වූ බවත්, එහිදී තමන් නිවසේ තිබූ පොල් උලකින් ඇයගේ හිසට පහරදුන් බවත්, සැකකාර සිසුවා පොලිසියට පාපොච්චාරණය කරනු ලැබුවා.
අනතුරුව ඔහු මුදල් සහ කාන්තාවගේ ජංගම දුරකථනයද රැගෙන පලාගොස් ඇති අතර ජංගම දුරකථනය මොරටුමුල්ල ප්‍රදේශයේ අලෙවි සැලකට විකුණා මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
එලෙස සොරකම් කළ රුපියල් 90000ක මුදලින් සිසුවා කාය වර්ධනයට භාවිතා කරන පෝෂණ අතිරේක පිටි වර්ගයක් ලබා ගෙන ඇති අතර මියගිය කාන්තාව අදාල මුදල් එකතු කරගෙන තබාගෙන ඇත්තේ, ලේ දන්දීමේ වැඩ සටහනක් වෙනුවෙන් බවයි පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබුණේ .
