මාසික වැටුප අනුව බදු අයකරන විදිය ගැන නව චක්‍රලේඛණයක්..

Sri Lanka
By Aruna Feb 09, 2023 01:36 AM GMT
Aruna

Aruna

Report

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා රජයේ සේවකයන්ගෙන් උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව සේවා යෝජකයන් විසින් සපයන ලද නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව, නිල නිවාස සඳහා දැනට රුපියල් ලක්ෂ දෙකකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් 20,000 ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් 40,000 ක් හෝ වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5 ක් ලෙස සංශෝධනය කර ඇත.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් සියයට 2.5 ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර ඇත.

වාහනවල ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800 ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800 ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000 ක් සහ රුපියල් 75,000 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000 ක් සහ රියැදුරු සඳහා රුපියල් 10,000 ක් ලෙසද ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙසද වෙනස් කර තිබේ.

ඉන්ධන දීමනාව සියයට සියයක් ලෙස බද්දට යටත් වූ අතර එය සියයට 25 ක් දක්වා අඩු කර තිබේ.

මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරී සඳහා ලබා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25 ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25 ක් හෝ රියැදුරු සහිතව රුපියල් 20,000 ක් සහ රියැදුරු සහිතව රුපියල් 30,000 ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.

සියයට සියයක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් සියයට 25 ක් පමණක් ප්‍රතිලාභ ලෙස සංශෝධනය කර තිබේ.

සේවා යෝජකයන් විසින් සහන පොලී මත ලබාදී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලන බවද චක්‍රලේඛයේ දැක්වේ.

මෙම නව චක්‍රලේඛය ඉකුත් ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

මේ අනුව ඉකුත් ජනවාරි මාසයේ වැටුපෙන් බදු සඳහා වැඩිපුර අයකරන ලද මුදල පෙබරවාරි මස වැටුපෙන් සංශෝධනය කෙරෙන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now