ඉන්දියානු සහ දකුණු අප්‍රිකානු ප්‍රභේද රටට ආවේ සංචාරකයන්ගෙන් නොවේ...

srilanka tourism presanna ranatunga
By Nimal Jul 05, 2021 09:28 AM GMT
Report

සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු ඊයේ (04) දිනය දක්වා මෙරටට සංචාරකයන් 17,469 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 183 දෙනෙකු පමණක් බව අනාවරණය වෙයි.

එම කොවිඩ් අසාදිත සංචාරකයන් 183 දෙනාගෙන් 138 දෙනෙකුම ප්‍රතිකාර ලැබ සුව වී සිය රට බලා ගොස් ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළකලේ අද (05) පැවති විශේෂ සාකච්ඡාවක දී ය. මෙම විශේෂ සාකච්ජාව පැවතියේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙරටට සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සදහායි .

පසුගිය දෙසැම්බර් මාසයේ දී ආරම්භ කෙරුණු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතිය යටතේ 2258 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් කොවිඩ් අසාදීතයන් වාර්තා වුයේ 09 දෙනෙකු පමණි. ජනවාරි සිට ජුලි 04 වන දින දක්වා වැඩිම සංචාරක පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දීයි. එම සංඛ්‍යාව 4,581 කි. සංචාරකයන්ට රට විවෘත කිරීම නිසා මෙරට කොවිඩ් වසංගතය පැතිරුණු බවට විවිධ පාර්ශව නගන චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය මෙහි දි අවධාරණය කළාය.

සෞඛ්‍ය අංශ වාර්තා අනුව මෙරට දෙවන කොවිඩ් රැල්ල පැතිර ගියේ යුක්රේන ජාතිකයකු මගින් වුව ද ඒ වන විට සංචාරකයන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබුණි. අදාළ යුක්රේන ගුවන් නියමුවා මෙරටට පැමිණ තිබුණේ සංචාරකයෙකු ලෙස නොවේ. මේ දිනවල පැතිර යන කොවිඩ් ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය මුලින්ම වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගෙනි.

දකුණු අප්‍රිකානු ප්‍ර භේදය ද එරට සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගෙන් මුලින් ම වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මෙතෙක් කොවිඩ් අසාදිත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 183 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවු බවත්, සංචාරකයන් මෙරටට ගෙන්වීම ජෛව බුබුළක් ලෙස ක්‍රියාත්මක වූ බැවින් අසාදිතයන් සමාජයට වාර්තා නොවු බවත් මෙහි දී අවධාරණය කෙරිණි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ සංචාරකයන් මෙරටට පැමිණීම අඩාල කිරීම සදහා විපක්ෂය හිතාමතා ම කටයුතු කරන බවයි. සංචාරකයන් මෙරටට ගෙන්වීම හරහා මෙරට කොවිඩ් වසංගතය පැතිර ගිය බවට ඔවුන් චෝදනා නගන්නේ ඒ නිසාය. ඔවුන්ට අවශ්‍ය ව ඇත්තේ සංචාරකයන් මෙරටට ගෙන්වීම නතර කිරීම බවත් ඒ සදහා ජනතාව අතර බොරු බියක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙරටට සංචාරකයන් ගෙන්වීමේ කටයුතු වේගවත් කිරීම සදහා කඩිනමින් මාර්ග සැලැස්මක් (Road Map) සකස් කරන ලෙස ද ඇමතිවරයා මෙහි දී බළධාරීන්ට උපදෙස් දුන්නේය.ඒ අනුව ඒ සදහා පවතින ගැටළු,ගත යුතු ක්‍රියාමාර්ග, තෝරා ගත යුතු රටවල් හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වාර්තාවක් දින දෙකක් තුළ තමන්ට ලබාදෙන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන කළමණාකරණ අධ්‍යක්ෂක මධුභාණි පෙරේරා,සංචාරක කටයුතු පිළිබද ඇමති උපදේශක කමිටු සාමාජිකයන් වන චන්ද්‍රා වික්‍රමසිංහ, හිරාන් කුරේ, නිමේෂ් හේරත්, සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංවිධානයේ ලේකම් නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීහුද සහභාගී විය.