දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් බැතියෙන් සමරන මිලාද් උන් නබි උත්සවය අදයි
ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමන්ගේ ගුණ සිහිකරමින් දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් අද (26) දිනයේදී අල්-මිලාද් උන්-නබි ජන්ම දින උත්සවය මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබයි.
සාමය, සහෝදරත්වය සහ සමානාත්මතාවය පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය.
කුඩා කල සිටම සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ උන්වහන්සේ, හතළිස්වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි.
නබිතුමන් ඉස්ලාම් දහමේ උසස් හර පද්ධතිය සිය දේශනාවෙන්, ක්‍රියාවෙන් මෙන්ම අපරිමිත පරිත්‍යාගයෙන් ලොවට පෙන්වා දුන් සුවිශේෂී ශාස්තෘවරයෙකි.
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි පල්ලීවල සහ ඉස්ලාමීය ආගමික ස්ථානවල විශේෂ පූජෝත්සව, අල්-කුර්ආන් පාරායනා සහ පුණ්‍ය කටයුතු සංවිධානය කර තිබේ.