සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුවු අසාධාරණයට රජයේ අවධානය ....

srilanka politics prasanna ranatunga
By Nimal Jul 06, 2021 08:35 AM GMT
Report

 වෛද්‍ය උපාධිය සදහා විදෙස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් රුසියානු බෙලරූස් සහ චීන විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය සඳහා සුදුසුකම් සපුරාලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වීම නිසා සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් අද (05) පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පසුගිය යහපාල සමයේදී උසස් පෙළ අසමත් සිසුන් වෛද්‍ය උපාධියට බඳවා ගන්නා බෙලරුසියාවේ වෛද්‍ය විශ්ව විද්‍යාලයක් මෙරට පිළිගත් විදේශ විශ්ව විද්‍යාල ලැයිස්තුවට ක්ෂණිකව ඇතුලත් කර තිබුණි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එය ඉවත් කෙරුණු අතර මේ නිසා වෙනත් රටවල පිළිගත් විශ්වවිද්‍යාල වල වෛද්‍ය විධාව හැදෑරීම සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධා එල්ල විය. මේ පිළිබඳව විදේශ විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධිය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින දරුවන්ගේ දෙමාපියන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඇමතිවරයා ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කල අතර සෞඛ්‍ය ඇමතිවරියට ජනාධිපතිවරයා අඳාල උපදෙස් ලබාදුන්නේ ඒ අනුවයි.