කාබනික වගා වැඩ පිළිවෙළට පක්ෂ භේදයකින් තොරව සහාය දිය යුතුයි...

srilanka politics mahinda amarawera
By Nimal Jul 04, 2021 04:12 AM GMT
Nimal

Nimal

Report

  අධික ලෙස කෘමිනාශක හා රසායනික පොහොර භාවිතය නිසා මේ වනවිට අපි වැඩිපුරම වස කන මිනිසුන් සිටින රටක් බවට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සළකන හිපොක්‍රටීස් කියලා තියෙනවා ආහාර තමයි ඖෂධ කියළා. නමුත් අද ආහාර යනු ඖෂධ නොවේ. අද ආහාර වල තියෙන්නේ වසවිෂ. හැම ආහාරයක්ම ආසනික් බහුල වශයෙන් අඩංගු වෙනවා. කුඩා දරුවෝ පවා පිළිකාවට, වකුගඩු රෝගවලට ගොදුරු වෙලා. රෝගීන්ගෙන් රජයේ හා පුද්ගලික අංශයේ රෝහල් පිරී ඉතිරී ගිහින්. මේ ඔක්කොටම හේතුව අපි වගාවේ දී අසීමාන්තිව භාවිතා කරන රසායනික පොහොර හා වසවිෂ බව කිව යුතුයි.

ජනාධිපතිතුමන් රසායනික පොහොර හා කෘමිනාශක මෙන්ම වල්නාශක තහනම් කිරීමට ගත් පියවර ඉතාමත් ප්‍රශංසනීයයි. මෙම තීරණයට රටේ කිසිදු පුද්ගලයෙක් එරෙහි වන්නේ නැහැ. අද ගොවීන් විසින් ආරම්භ කර ඇති උද්ඝෝෂණ කිසිසේත්ම කාබනික ගොවිතැනට එරෙහි උද්ඝෝෂණයන් නොවෙයි. ජනාධිපතිතුමන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ මෙම වසරේ මාස් කන්නයේ සිට.නමුත් යළ කන්නයේ වගා කළ ගොවීන්ට කාබනික හෝ රසායනික පොහොර නිසි පරිදි නොලැබුනු තත්ත්වයක් මත තමයි මෙම උද්ඝෝෂණ ආරම්භ වී තිබෙන්නේ.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ මහරගම අපේක්ෂා රෝහළේ හදිසි ප්‍රතිකාර අංශයේ දැඩි අවශ්‍යතාවයක්ව තිබු Cardiac Monitor යන්ත්‍ර දෙකක් පිරිනැමීමට පසුගිය සිකුරාදා (02) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදුවු අවස්ථාවේදීය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුබසාධන සංගමය විසින් ලබා දෙන ලද මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම යන්ත්‍ර දෙක පිරිනැමිනි. විශේෂයෙන්ම මෙම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ අවශ්‍යතා රැසකට මෙම යන්ත්‍රය භාවිතා කළ හැකිය. මේ සඳහා එම සුබසාධක සංගමය විසින් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 05කි. මෙම අවස්ථාවට භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, මේ වනවිට අපේ රටේ දිනකට නව පිළිකා රෝගීන් 80ක් පමණ අලුතින් හඳුනාගන්නවා. වාර්ෂිකව විශාල පිරිසක් මිය යනවා. වර්තමානයේ අපේ රටේ දියවැඩියාව, පිළිකා, හෘදය වස්තුව ආශ්‍රිත රෝග මෙන්ම වකුගඩු රෝග ආදිය ඉහළ ගොසින් තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ අප රටේ දිනකට මිය යන 1000ක් පමණ වන පුද්ගලයින් අතරින් සියයට 65ක් මිය යන්නේ බෝ නොවන රෝගවලින් බව. ඊට ප්‍රධාන හේත්වක් තමයි අද අපේ රටේ ආහාර රටාවන්වල සිදුව ඇති වෙනස්කම් නිසායි. අපේ රටේ රෝගීන් වැඩි වීම වළක්වා ගැනීමට නම් කළ යුත්තේ හැකිතරම් අපි කාබනික වගාවට යොමුවීම. රසායනික පොහොර මෙන්ම කෘමිනාශක හා වල්නාශක භාවිතයෙන් තොර කෘෂිකර්මය පරිසර හිතකාමීයි.

පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් මගින් අපිට ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගත හැකියි. අපි අවුරුදු 3000ක් පමණ කාලයක් තිස්සේ වී වගාව කරන රටක්. අතීතයේ දී මේ රට සහළින් ස්වයංපෝෂණය වුයේ මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා නොවෙයි. නමුත් අද අපේ රටේ වගා කරන හාල් කිලෝ 100ක්වත් පිටරටට අලෙවි කර ගන්නට බැහැ.

ඒ නිසා රජය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩ පිළිවෙළ තවත් වසර දෙක තුනකින් මුළු ලෝකයේම ඇගයීමට ලක්වේවි. ලබන වසරේ දී අපේ රටේ කෘෂිකර්මාන්තයේ දී සියයට 90ක්ම කාබනික පොහොර භාවිතා කරන තත්ත්වයට පත් වේවි. ගොවින්ගේ ආදායම් මට්ටම් ඉහළ යාවි. දැනටමත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ විශාල පිරිසක් කාබනික පොහොර නිපදවීම ආරම්භ කර තිබෙනවා.

කාබනික වගාව මගින් නිෂ්පාදනය කරන භෝග සඳහා අද ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. රසායනික පොහොර භාවිතය නිසා මිය ගිය අපේ මහපොළව කාබනික වගාව නිසා යළි සක්‍රිය වන බව විශ්වාසයි. ඒ පොළව සියලු සතුන්ට හිතකර වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන් ආරම්භ කරන ලද මෙම කාබනික වගා ව්‍යාපෘතියට අපි සියලු දෙනාම සහයෝගය ලබා දිය යුතුයි. මෙවැනි ජාතිකමය වශයෙන් වැදගත්වන තීරණවලට පක්ෂ විපක්ෂ කියළා භේදයක් නොතිබිය යුතුයි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ReeCha