මෙරට පරිසරයට හානියක් නොවන කාබනික පොහොර ආනයනයට සැලසුම්...
කාබනික පොහොර ආනයනය කිරීමේ දී මෙරට පරිසර පද්ධතියට හානියක් සිදුවිය හැකි දෑ කාබනික පොහොර මගින් ඇතුළුවීමට ඇති ඉඩකඩ වැළැක්වීම සම්බන්ධව රජය දැඩිව අවධානය යොමු කර තිබෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර අමාත්‍යවරයා මහතා සඳහන් කළේය.
රජය විසින් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති නිසා එමගින් වෙනත් රටවල සිට විවිධ හානිකර ද්‍රව්‍ය කාබනික පොහොර මගින් මෙරටට ඇතුළුවීමට ඉඩකඩ තිබෙන්නේ දැයි පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් පිරිසක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මේ සම්බන්ධව ද පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,රසායනික පොහොර ආනයනය කරන ලද ක්‍රමවේදයට කාබනික පොහොර ආනයනය කළ නොහැකියි.විශේෂයෙන් මොන රටේ නිෂ්පාදනය කළත්, නාගරික කැළිකසළ යොදාගෙන නිපදවනු ලබන කාබනික පොහොර වගාව සඳහා යෙදීම සුදුසු නොවන බව පිළිගත් කාරණයක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම රසායනික පොහොර මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව ඒවා රසායනික පරීක්ෂාවට ලක් කරන අතර ඒ සඳහා රසායනාගාර පහසුකම් අප රට තුළ ඇත. එහෙත් කාබනික පොහොර පරීක්ෂාව සඳහා මේ වන තෙක් කිසිදු රසායනාගාරයක් අප රට තුළ ස්ථාපිත කර නොමැති නිසා කාබනික පොහොර ආනයනය කරන්නේ නම් ඊට පෙර ඒ සඳහා රසායනාගාර පහසුකම් ඇති කළ යුතුය. කාබනික පොහොර ආනයනය කළ යුත්තේ එවැනි ක්‍රියාදාමයකින් පසුවය.
කෙසේ වුවද එවැනි පරීක්ෂාවකින් තොරව වරායේ නිරෝධායන අංශය විසින් කිසිසේත්ම ආනයනික කාබනික පොහොර මෙරටට ඇතුල්වීමට අවසර ලබා නොදෙනු ඇත. රසායනාගාර පරීක්ෂාවකින් තොරව කාබනික පොහොර ආනයනය කළහොත් ඒඔස්සේ අපේ වගාවන්ට මෙන්ම පරිසරයට හානි කර විවිධ පැළෑටි වර්ග මෙන්ම කෘමිවර්ග ද පැමිණීමට ඉඩකඩ ඇති බව කී අමාත්‍යවරයා රජය මේ සියලු කරුණු සම්බන්ධව පුළුල් ලෙස අවධානය යොමු කර ඇති බව ද සඳහන් කළේය.
එමනිසා පරීක්ෂාවකින් තොරව කාබනික පොහොර ආනයනය කිරීමට පියවර නොගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.