සමාගම් දෙකකට විරුද්ධව වහාම නීතිමය පියවර ......

srilanka politics mahinda Amarawera
By Nimal May 04, 2021 04:14 AM GMT
Nimal

Nimal

Report

 පොලිතීන් හා ප්ලාස්ටික් යොදා ගනිමින් ග්‍රෑම් 24 සැෂේ පැකට් වශයෙන් තවදුරටත් නිපදවන සමාගම් දෙකකට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මධ්‍ය පරිසර අධිකාරියට පරිසර ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් දි තිබේ.

මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් මාර්තු මස 31 දින සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගන්නා ලදී.

ඒ අනුව ග්‍රෑම් 20ට වඩා අඩු ආහාර හා ඖෂධ ගණයට අයත් නොවන පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ පැකට් තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවර ගත් අතර ඒ අනුව පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 05ක් තහනම් කරමින් පරිසර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඇතැම් සමාගම් විසින් එම නියෝග අකුරටම ඉටු කරමින් මේ වනවිට සියයට 100කින්ම අදාල නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබේ. භාවිතයෙන් පසු ඉවත ලන ඇතැම් සැෂේ පැකට් පරිසරයට බැහැර කිරීම නිසා බරපතල පාරිසරික ගැටළු රැසක් උද්ගත වෙමින් තිබුනි. විශේෂයෙන් මේ නිසා පානීය ජල මුලාශ්‍ර මෙන්ම සෙසු ජල මූලාශ්‍ර ද දූෂණයට ලක්ව ඇති බව තහවුරු විය.

මෙම තහනම ක්‍රියාත්මක කරන ලද්දේ එම කරුණු අධ්‍යයනයකින් පසුවය. එහෙත් මෙම තහනම නොතකා හරිමින් එක්තරා සමාගම් දෙකක් ගැසට් පත්‍රය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පෙනී ගොස් ඇත. ගැසට් පත්‍රය මගින් ග්‍රෑම් 20ට අඩු සැෂේ පැකට් නිෂ්පාදනය කිරීම තහනම් කළ ද, එක් සමාගමක් පොලිතීන් හා ප්ලාස්ටික් යොදා ගනිමින් ග්‍රෑම් 24 සැෂේ පැකට් වශයෙන් තවදුරටත් නිපදවන වන බව තොරතුරු ලැබී තිබේ.

එමෙන්ම තවත් සමාගමක් තහනම් නියෝග නොතකා තවදුරටත් අදාල නිෂ්පාදන කටයුතු සිදු කරමින් තිබෙන බවත් වාර්තා වී ඇත.මෙම කරුණු සැළකිල්ලට ගනිමින් එකී සමාගම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (04) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.

ඒ අනුව අද දින පෙරවරුවේ සියලුම නීති අංශ සමග හා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡා කර මෙම සමාගම් දෙකට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු සියලු පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසයි.