100 වැනි ඔසු උයන පිල්ලෑව විහාරස්ථානයේ ....
දිවයින පුරා ආගමික ස්ථාන ආශ්‍රිතව “ඔසු වන දහසක්”පිහිටුවීමේ වැඩ පිළීවෙළ යටතේ 100 වැනි ඔසු වනය බොරලැස්ගමුව පිල්ළෑව විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගත් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම “ඔසු වන දහස” වැඩ සටහන යටතේ එක් ආගමික ස්ථානයකට දේශීය ඖෂධීය වටිනාකමකින් යුත් පැළ වර්ග 24ක කට්ටලයක් බැගින් ලබා දී ඒවා රෝපණය කරනු ලබයි. එමෙන්ම එම පැළ නඩත්තු කිරීම එකී ආගමික ස්ථානය භාරව කටයුතු කරන දායක මණ්ඩලයට හෝ භාරකාරයින්ට පැවරේ.
මෙම වැඩ සටහනේ 100 වන ඔසු වනය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවක් පරිදි සැකසීමේ කටයුතු පසුගියදා පිල්ලෑව විහාරස්ථානයේ දී ආරම්භ විය. එහිදී අමාත්‍යවරයා විසින් දුර්ලභ ඖෂධීය ශාඛයක් වන යකිනාරං පැළයක් රෝපණය කරමින් ඔසුවනය සැකසීමේ කටයුතු ආරම්භ කළේය. එමෙන්ම තවත් ඖෂධීය පැළ කට්ටලයක් අමාත්‍යවරයා විසින් එම විහාරස්ථානය බාර ස්වාමින්වහන්සේලා වන පූජ්‍ය පොළොන්නරුවේ සීලානන්ද හිමි, හා පූජ්‍ය ගෝනාපීනුවල චන්දරතන හිමිවරුන්ට බාර දෙනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, ජීවත්වන හැම මනුස්සයෙකුටම දිනකට ඔක්සිජන් ලීටර් 550ක් අවශ්‍යයි. බර අනුව පවසන්නේ නම් ලෝකයේ ජීවත්වන එක මනුස්සයෙකුට දවසකට ඔක්සිජන් කිලෝ ග්‍රෑම් 2.3ක් අවශ්‍ය වෙනවා. අපිට ජීවත්වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් සාගරය මගිනුත්, අප අවට ගහකොළ මගිනුත් නිෂ්පාදනය කරනවා. නමුත් වර්තමානයේ මිනිසා තමන් ජීවත් කරවන පරිසරය හා සාගරය දෙකම විනාශ කරනවා. අපේ සාගරය හා ගොඩබිම දෙකම වනසන දූෂණකාරකයක් තමයි පොලිතීන් හා ප්ලාස්ටික්. වර්ෂ 2050 වන විට මහ මුහුදේ මාළුන්ට වඩා පොලිතීන් හා ප්ලාස්ටික් වැඩිවනු ඇතැයි විද්වතුන් උපකල්පනය කර තිබෙනවා.
මේ නිසා අපේ රටේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ඉදිරියේ දී ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් තහනම් කරනවා. ඒ වගේම අද මිනිස්සු ඉවක් බවක් නැතුව ගහ කොළ කපනවා. සමහර දේශපාලනඥයෝම අහනවා ඔක්සිජන් කන්නද? කියළා. නමුත් අපි පරිසර අමාත්‍යංශය වශයෙන් අපේ රටේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට මෙන්ම වායු ගෝලයේ කාබන් ප්‍රතිශතය පහළ දැමීම සඳහා “හුස්ම දෙන තුරු” නමින් රුක් රෝපණ වැඩ සටහනක් ආරම්භ කළා. මෙම “ඔසු වන දහසක්” වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ ඒ යටතේයි. “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩ සටහන සම්බන්ධයෙන් වර්තමානයේ සමාජය තුළ විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ තමන්ගේ ගෙවත්තේ ඉඩ තියෙන තැනක කුමක් හෝ පැළයක් රෝපණය කරන ලෙසයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මිනිස්සුන් ඔක්සිජන් අවශ්‍යතාවය මැනවින් තේරුම්ගෙන තිබෙනවා.
අපිට අවශ්‍ය හුස්ම ගැනිමට ඔක්සිජන් නැත්නම් අපිට විනාඩි කිහිපයක්වත් ජීවත් විය
නොහැකියි. ඒ නිසා කවුරු හරි ගහක් නොවෙයි ගසක අත්තක් හරි කපනවා නම් දෙවරක් සිතා බැලිය යුතුයි.
ගස් යනු ජීවින් කොටසක්. මිනිසා විසින් සිදු කරන හැම දෙයක්ම ගහකොළවලටත් කරන්න පුළුවන්. බැරි එක දෙයයි. ඒ සංචරණය විතරයි. ගසක් කපළා විනාශ කරනවා කියන්නේ විශාල පවක්. අපේ රටේ අතීතයේ විසු මුතුන් මිත්තෝ ගහ කොළවලට ආදරය කළා. ගරු කළා. රැක බලා ගත්තා. ඒ අතීත උරුමය රැක දීම අපේ පරමාර්ථයයි. ඒ අනුව තමයි අපි මේ වැඩ පිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ .පිල්ලෑව විහාරස්ථානයේ ස්වාමින්වහන්සේලා මෙම කර්තව්‍යයට සහාය ලබා දීම සම්බන්ධව මම පරිසර
අමාත්‍යාංශය වෙනුවෙන් අපේ කෘතඥතාවය පිරිනමනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.