සෞඛ්‍ය සේවාවේ නවකයින්ට පත්වීම් ලිපි....

srilanka health paviththevaniarachchi
By Nimal Jun 15, 2021 09:15 AM GMT
Nimal

Nimal

Report

 මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සියළු පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැවසුවාය.

සෞඛය ඇමතිණිය එසේ පැවසුවේ, සිසු හෙද , හෙදියන් පුහුණුවට බඳවා ගැනීම ඖෂධවේදී හා මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සදහා පත්වීම් ලිපි සෞඛය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ප්‍රදානය කළ අවස්ථාවේදීය.

මෙහිදී වසර 03 ක හෙද පුහුණුව සදහා තෝරා ගත් 4260 දෙනෙකුට හෙද විදුහල් 15 ක පුහුණුවට බදවා ගැනීමට නියමිත අතර, ඉන් 10 දෙනෙකු සදහා අද දින සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි.

එමෙන්ම ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගන්නා ලද සිසුන් අතර, වසර 02 ක ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද පුහුණු අභ්‍යාසලාභීන් 73 දෙනෙකුටත්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 59 දෙනෙකුටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය අතින් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරන ලදි.

වර්තමානයේ අනුමත හෙද කාර්ය මණ්ඩලය 45,000 ක් අතුරින් හෙද නිලධාරීන් 41,000 කට ආසන්න පිරිසක් හෙද සේවයේ යෙදී සිටින බවත්, හෙද විදුහල් තුළ මේ වන විට 5000 කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවත් මෙහිදි පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරියේ දී වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල මෙන්ම අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ඉහළ නංවමින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසුවාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.